විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි! පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ඉදිරියට යෑමට එකඟතාවය (විඩීයෝ)

Spread the love

‍20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග එක්වූහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට එක්වූහ.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස 06ක් ගතවී තිබෙන බවත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පක්‍ෂ නායකයන්ට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විවාදය සඳහා ගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මේ නිසා පාර්ලිමේන්තුව තුළ මෙය සිර නොකර ඉදිරි කටයුතු සිදුකිරීමට විපක්‍ෂනායකවරයා සමග සාකච්ඡා කළ බවද අනුර දිසානායක පවසා සිටි අතර විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට වඩා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමය අප රටට ගැළපෙන බවට විශ්වාස කරන බවද මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් තිබුණද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග විධායක ජනාධිපති ක්‍රමය බැඳී තිබෙන බැවින් ඒ පිළිබඳ සැලකිල්ලට භාජනය කළ යුතු බවට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

එබැවින් තමන් වටා සිටින පක්‍ෂ සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන්ට පවසා ඇත.

RSL

Related Posts