පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සැකකරුවන්ට නඩු

Spread the love

2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුවේ සැකකරුවෙකු වන සම්පත් මුණසිංහට ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා දැනුම් දී ඇත්තේ සම්පත් මුණසිංහ, වසන්ත කරන්නාගොඩ ඇතුළු සියලුම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බවය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනිමැරීම, ඊට ආධාර අනුබලදීම, මිනිමැරීමට කුමන්ත්‍රණය කිරීම, ඇතුළු කරුණු මත අධි චෝදනා ගොනු කර කොළඹ මහධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා විසින් මේ පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානයක මහතාට දැනුම් දි ඇත.

2008 වසරේ අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වනදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු අතුරුදන් වූ බව කියන සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණීල්ල සිදුකර තිබිණි.

කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඩින් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අයවලුන් මෙම සිද්ධියෙන් අතුරුදන් වූ බවට එම පැමිණීල්ලේ සදහන් වෙයි.

කෙසේ නමුත් මෙම තරුණයන් ඝාතනය කර ඇති බව පසුගියදා අත්අඩංගුවට ගත් ‘අන්නාචි’ ඇතුළු සුලු නිලධාරීන් දෙදෙනාගේ ප්‍රකාශ මගින් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා අනාවරණය කරන ලදී.

සිද්ධියට අදාල නඩුවේ සැකකරුවන් වනුයේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, සම්පත් මුණසිංහ, නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් සහ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ යන පුද්ගලයන්ය.

RSL

Related Posts