ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්

Spread the love

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී.

සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ දමමින් කටයුතු කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිටම් ආයතනය ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය සභාව තාක්‍ෂණික ලෙස නිර්දේශකර තිබියදීත් එම නිර්දේශයන්ට නීතිමය වලංගු භාවයක්‌ ලබාදීමට කටයුතු නොකරන බව ජනාධිපතිවරයාට ලිතව දැනුම් දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටී.

සයිටම් නඩුවේදී වෛද්‍ය සභා මතවාදය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට ඇමැතිවරයා කරන්නේ සයිටම් ආයතනයට වාසිවන සේ අභියාචනාධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කිරීම බවද පවසන වෛද්‍ය අලුත්ගේ මහතා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ තාක්‍ෂණික ලියවිල්ල අත්තනෝමතික ලෙස වෙනස්‌ කර ඇතැයිද කියා සිටී.

රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙක්‌ විසින් ලියන ලද ලිපියක්‌ මත පදනම්ව ඇමැතිවරයා සිය ඇමැති බලතල පාවිච්චි කරමින් වෛද්‍ය සභාවේ නිලවරණය අත්හිටුවීමට කටයුතු කර ඇතැයිද වෛද්‍ය සභාවේ සංයුතිය වෙනස්‌ කිරීමට ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධාන කීපයක නියෝජනයන් ඇතුළත්ව කමිටුවක්‌ පත්කර ඇතැයිද ජනාධිපතිවරයාට පැමිණිලි කරමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

මින්පෙර කිසිදු සෞඛ්‍ය ඇමැතිවරයකු නොකළ ලෙස සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම අර්බුදයට පත් කරන රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා නතර කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

RSL

Related Posts