ගම්මන්පිලගේ පිවිතුරු සළු ගැලවී පිල්ලි මතුවෙයි!

Spread the love

udhaya-gammanpilaපිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පෞද්ගලික බැංකුවක කොටස් ව්‍යාජ ඇටෝනි බලපත් මගින් විකිණීම පිළිබඳ පරීක්ෂණ අවසන්කැර සාධාරණ කාලයක් ගත වුවද නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි පියවර නොගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට බලවත් අසාධාරණයක් සිදුකරන බව බ්‍රයන් ෂෙඩික්ගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතා සිදුකරන ලද තවත් කූට, වංචනික ක්‍රියා රැසක් හා නීතිය අවභාවිතා කිරීමේ තොරතුරු රැසක් හෙළිදරව් වී ඇති බවද හෙතෙම අවධාරණය කරයි.

තමන් හෙළිකරන දේ අසත්‍ය නම් ප්‍රසිද්ධ වාදයකට එන ලෙසත් නැතිනම් තමාට විරුද්ධව නඩු දමන ලෙසත් හෙතෙම ගම්මන්පිල මහතා වෙත අභියෝගයක් ද ඉදිරිපත් කෙළේ ය.

මෙරට ආයෝජකයෙකු වු බ්‍රයන් ෂෙඩික් නමැති විදේශිකයා සතු සමාගම් කොටස් විකුණමින් එම මුදල් වංචා සහගත ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ඊයේ(05) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී මේ අදහස් පළ විය.

එහිදී ලසිත පෙරේරා මහතා මෙසේ දකීය.

“මේ සමාගමේ එවකට විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස ගම්මන්පිල මහතා කටයුතු කළේ.

මේ අනුව අදාල ආයෝජකයාට අයත් සිලෝන් ටී ගාර්ඩන් සමාගමේ කොටස් හා දේපළ ද ගම්මන්පිල මහතා නීති විරෝධී ලෙස විකුණා තිබෙනවා. මේ ගැන දැනට පොල්ස් විමර්ශන සිදුවෙමින් තිබෙන්නේ.

බ්‍රයන් මහතා 1990 දශකයේ දී වාහන කැබලි ගෙනැවිත් ප්‍රති අපනයනය කිරීමේ ආයෝජන මණ්ඩලයට අයත් සමාගමක් ආරම්භ කළා.

පසුව ලාබ ලබමින් තිබූ මේ ආයතනයේ කොටස් මිලියන එකොළහක් රුපියල් 40 ගණනේ මේ අය විකුණුවා.රුපියල් කෝටි 46ක් ලැබුණා.නමුත් ඊළඟ වසරේ සිටම අලාබයි කියා වසර කිහිපයකදි එම ආයතනය විකුණා දැමුවා. ලංකා ලෝහ ෆැක්ට්‍රියත් මේ අය අරගෙන මේ ලෙසම විකුණා දැමුවා මිලියන සියයකට.මේ මුදල්වලට වූ දෙය කුමක්ද? ඒ පිළිබඳ මා පැමිණිල්ලක් ඉදිරිපත් කැර තිබෙනවා.

මේ සිද්ධි පිලිබඳ තොරතුරු ලිපි ලේඛන සොයා ගැනීමේ පමාවක් තිබුණා.ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඒ පිළිබඳ තොරතුරු හෙළි කිරීමට බිය වුණා.ජීවිතයට තර්ජනයක් වේයැයි බ්‍රයන් ෂෙඩික් මහතා මෙරටට ඒමෙන් වැලකී සිටියා.

අපත් නිහඬව සිටියේ ඒ නිසයි.අද බියෙන් සැකෙන් තොරව කතා කරන්න හැකි වාතාවරණයක් තිබෙනවා.

වයස අවුරුදු 73ක් පමණ වන බ්‍රයන් මහතා ශල්‍යකර්මයකටද භාජනය වී සිටින්නේ .ඔහු වංචාවට හසුවීම සම්බන්ධයෙන් මෙරට පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කළා.නඩු පැවරීමෙන් පසු ඔහු සිය බිරිය සමඟ මෙරටට ඒමට නියමිතයි.

බ්‍රයන් මහතා බලාපොරොත්තු වන්නේ ඔහුට වූ අසාධාරණයට සාධාරණයක් මෙරට නීතියෙන් ඉටුකරවා ගන්නයි.

මේ වගේ තවත් අසාධාරණයට ලක් වූ අය තවත් ඇති අනාගතයේදීත මෙවැනි දේ සිදුවිය හැකියි. එසේ අසාධාරණයට ලක් වූ අයට සාධාරණයක් වෙන්නත් නැවත එවැන්නක් සිදු නොවෙන්නත් මේ සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

ගම්මන්පිල මහතා ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගි කැර ගනිමින් බ්‍රයන් ෂෙඩික් මහතාට හා ඔහුගේ පවුලේ අයට අයත් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සමාගමක් වන ඩිජිටල් නොමිනීස් සමාගමට අයත් පැන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන හතරකට වැඩි කොටසක් විකුණා තිබෙනවා.ඒ සඳහා ඇටෝනි බලපතක් උදය ගම්මන්පිල මහතා නමට නිර්මාණය කැර මෙය කැර තිබෙන්නේ.වංචා සහගත ලෙස විකිණීම හා එයින් ලබා ගත් මුදල් ගම්මන්පිල මහතාට අවශ්‍ය ලෙස පරිහරණය කිරීමට ඇටෝනි බලපත්‍රය උපයෝගීකර ගෙන තිබෙනවා.මෙහි කොටස් විකිණීම සම්බන්ධ ගනුදෙනු සඳහා අස්සන් කැර තිබෙන්නේ ගම්මන්පිල මහතාගේ බිරිය.

බ්‍රයන් මහතා සම කොටස් කරුවකු වන සිලෝන් ටී ගාර්ඩන් සමාගමේ තේ ඇසුරුම් කිරීමේ ගොඩනැඟිල්ල හා ඉඩම මෙන්ම සමාගමේ කොටස් වංචනික ලෙස ගම්මන්පිල මහතා විකුණා තිබෙනවා.මේ සඳහා ගම්මන්පිල මහතා ඍජුව සම්බන්ධ බවට සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ඇති ලේඛනවලින් තහවුරු වෙනවා.

ගම්මන්පිල මහතාගේ බිරිය දිනේෂා ගම්මන්පිල මහත්මිය රටහැර යාම මහින්ද රාජපක්ෂ පාලන සමයේ නීතිය අවභාවිතා කිරීම පිළිබඳ කදිම උදාහරණයක්.

යතුරුපැදි කරුවකු අමාත්‍යංශ වාහනයකින් හප්පා පලාගොස් දින 21කට පසු ස්වාධීන පරීක්ෂණයකට බාධා කැර මිරිහාන පොලිසියෙන් එය සමතයකට පත්කරවා තිබෙනවා.

උදය ගම්මන්පිල මහතා තමන්ට උපකාර කරන තමන් ලඟ සිටින අයට මෙවැනි දේ සිදුකිරීම ඉතිහාසයේත් සිදුවුණා.මේ නිසා දැන් ළඟින් සිටින අයත් ඒ ගැන පරිස්සමින් සිටිනවානම් හොඳයි.

ගම්මන්පිල මහතා හෝ පාඨලී චම්පික රණවක මහතා හෝ මා ලඟින් ඇසුරු කළ අය නොවේ.බලයේ සිටියදී කිසි දිනෙක අමාත්‍යංශයට ගොස් හමුවී වත් නැහැ.

ගම්මන්පිල මහතා පසුගිය සමයේ අයථා ලෙස උපයා ගත් මුදල් ඕස්ට්‍රේලියාවේ ආයතනයක ආයෝජනය කැර තිබෙන අතර එය පවත්වාගෙන යාමට ඔහුගේ බිරිය එරට රැඳී සිටිනවා.මේ සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක්ව සිටින ගම්මන්පිල මහත්මිය රටින් බැහැරවීම වැලැක්වීමට කටයුතු නොකිරීම පුදුම සහගත බවද හෙතමෙ සඳහන් කරයි.

මේ වංචා සම්බන්ධයෙන් තවත් අය සම්බන්ධව සිටිය හැකි බවද ගම්මන්පිල මහතා පිළිබඳ සිදුකරන විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් හෙළිවනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ව්‍යජ ඇටෝනි බලපතක් මඟින් පෑන් ඒෂියා බැංකුවේ කොටස් විකිණීම සම්බන්ධ සියලු විමර්ශන අවසන් කැර සාධාරණ කාලයක් ගතව ඇතත් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි පියවර නොගැනීම අගතියට පත් පාර්ශවට මෙන්ම මෙරට ආයෝජකයින්ට කරන බලවත් අසාධාරණයක් බවද හෙතෙම අවධාරණය කරයි.

RSL

Related Posts