රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!

Spread the love

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ නැමැත්තා රහස් පොලිසිය විසින් අද(09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණය වෙත පෙරේදා (07 දා) ඉදිරිපත් කළ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු වන එම්. සී. නම්මුනි නමැත්තා ලබන 11 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කෙරුණි.

මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති නම්මුනි නමැත්තා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ගෞරව උපාධියක්‌ ලැබූ අයෙකි.

මොහු මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක්‌ ආරම්භ කළ බව විමර්ශනවලදී හෙළි වී ඇත.

නම්මුනි නමැත්තාට අයත් බව කියන රොස්‌මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයක්‌ වැටලූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී රහසිගත ලිපි ලේඛන තොගයක්‌ සහ මෙම වංචාවෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 40 ක මුදලක්‌ සොයාගෙන තිබේ.

රහස් පොලිසිය පවසා සිටින්නේ තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් නමැති බැංකුවේ පරිගණක දත්ත පද්ධතියට හොරෙන් ඇතුළුව සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් සැලසුම් සහගතව ඩොලර් මිලියන 60 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ සොරකම් කර ශ්‍රී ලංකාව, කාම්භෝජය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ගිණුම් ගණනාවක තැන්පත් කර ඇති බව මීට සති දෙකකට පමණ සිට තායිවාන අපරාධ පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව එම මුදල් තැන්පත් කර ඇති රටවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම්ද සමඟ එකතුව තායිවානය විසින් අන්තර්ජාතික පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

එහිදී එම මුදල් තැන්පත් කර ඇති ඒ ඒ රටවල ගිණුම් හිමියාගේ ගිණුම සොයාගත් අතර එම ගිණුම් හිමියා හඳුනා ගැනීම සහ එම ගිණුම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා රහස් පොලිසිය විසින් අධිකරණ අවසරය ද ලබාගෙන තිබූ බව වාර්තා වේ.

ඒ අනුව එම මුදල් හිමි පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු විසින් රුපියල් මිලියන 80ක මුදලක් ගිණුමෙන් ඉවත්කර ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

මෙම ගිණුම් හිමියා පසුගිය 04දා රුපියල් ලක්ෂ 300ක් ගිණුමෙන් ආපසු ලබාගෙන තිබේ. මෙම මුදල් කොල්ලය සඳහා කබීර් හෂීම් අමාත්‍යවරයා යටතේ පවතින මූල්‍ය ආයතනයක සහයද ලබාගෙන ඇතිබවට අනාවරණය වෙමින් පවතී.

ශලීල මුණසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ වත්මන් සභාපතිවරයාද වන අතර රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ සමාගමේ ඉහළ තනතුරකට මුවා වී මෙම වංචාව සිදුකර ඇතිබවට වාර්තාවේ.

එසේම ශලීල මුණසිංහ නැමැත්තා කැනඩාවේ පුරවැසිභාවය හිමි අයෙකු බවද නිල නොලත් ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

RSL

Related Posts