RMV හරහා සිදුකළ මහා පරිමාණ වාහන ජාවාරමක් හෙළිවෙයි!

Spread the love

හදිසි අනතුරුවලට ලක්ව මුළුමනින්ම හානි වී යළි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වූ වාහන වෙනුවට එම වාහන අංකවලට වෙනත් වාහන ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා මේ මහා පරිමාණ ජාවාරම සිදු කෙරී ඇති බව දැනගන්නට ඇත.

මේ වන විට එසේ ඉවත් කළ වාහන 61ක් පරීක්ෂා කිරීමේදී එයින් 14ක අංක එසේ ව්‍යාජව යොදා වෙනත් වාහන ධාවනය කරනු ලබන බව අනාවරණය කරගෙන ඇත. ඒ සංඛ්‍යාව වාර්තා වන්නේ වසර 2013 මැද භාගය දක්වා වන කාලයට අදාළව වන අතර, එයින් පසු තොරතුරු තවමත් අනාවරණය වී නැත.

විගණකාධිපතිවරයාද 2013 ජූලි මස 31 දින දරන විගණන විමසුමක් මඟින් මේ සම්බන්ධව කරුණු දක්වන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත දන්වා තිබේ.

අනතුරුවලට පත් වීමෙන් පසු මෙසේ භාවිතයෙන් මුළුමනින්ම ඉවත් කරනු ලබන රථ වාහන පිළිබඳව අදාළ රක්ෂණ සමාගම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැන්වූ පසු ඒ වාහන භාවිතයෙන් ඉවත් කළ බවට දෙපාර්තමේන්තුවේ සටහන් විය යුතුය. ඉන් පසු ඒවාට ආදායම් බලපත්‍ර ගැනීමට පවා හැකියාවක් නැත.

එවන් තත්ත්වයක් පැවතියදී මෙසේ එම අංකවලට වෙනත් රථ වාහන ලියාපදිංචි වීම කෙසේ සිදු වූයේද යන්න පිළිබඳ විමර්ශනය පැවැත්වෙන අතර, මෙය කාලාන්තරයක් තිස්සේ කරගෙන ගිය මහා පරිමාණ වංචාවක් බවත් මේ අයුරින් ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද වාහන සොරකම් කරන ලද ඒවා හෝ ‍රේගු බදු ‍නොගෙවා මෙරටට ‍ගෙන්වන ලද ඒවා හෝ විය හැකි බවත් විශ්වාස කෙරේ.

‍මේ වන විට හෙළි කරගෙන ඇති වාහන සම්බන්ධ ‍තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහිදී ඒ වාහන දැනට භාවිත කරන්නන්ද දැඩි අපහසුතාවට පත් වීමට ඉඩ තිබේ. මේ සම්බන්ධව අදහස් දැනගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරූවත් එය ව්‍යර්ථ විය.

-සිළුමිණ-

RSL

Related Posts