සාක්ෂි ඇත්නම් ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර අත්අඩංගුවට ගන්න නියෝග!

Spread the love

අධිකරණයට අවශ්‍යව සිටි සැකකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්‌ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ සහාය දක්‌වා හෝ ආධාර අනුබල දී ඇති බවට හෝ ප්‍රමාණවත් සාක්‌ෂි ඉදිරිපත් වන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා) අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ඊට අමතරව තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ 10 වැනි සැකකාර ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්‌ටිආරච්චි මහතා ලබන 12 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අද්මිරාල් රවින්ද්‍ර චන්ද්‍රසිරි විඡේගුණරත්න මහතා සැකකාර ප්‍රසාද් හෙට්‌ටිආරච්චි නමැත්තාට සී. අයි. ඩී. අත්අඩංගුවට පත් වීමෙන් මගහැර සිටීමට උපදෙස්‌ ලබාදී ඇති බවට පැහැදිලිවම සාක්‌ෂි ඇතැයි පෙන්වා දෙමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ඒඩි්‍රයන් නිශාන්ත සිල්වා මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයා සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගත් ජාතික හැඳුනුම්පත් දෙක කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්‌ෂක සෙබළකුට හා තල්දූව අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

ප්‍රසාද් හෙට්‌ටිආරච්චි නමින් පවත්වාගෙන ගොස්‌ ඇති හා මෙතෙක්‌ පවත්වාගෙන යන බැංකු ගිණුම් හා මුදල් ආයෝජන පිළිබඳ සවිස්‌තර වාර්තා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන 22 කට නියෝග කළාය.

අධිකරණයේ අවසරය ඇතිව සැකකාර ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්‌ටිආරච්චි නමැත්තා එම අපරාධවලට හා සෙසු සිද්ධින් ගැන ලබාගත් ප්‍රකාශවලදී ඒ සම්බන්ධයෙන් මතක නැති බව හා තමා කරුණු නොදන්නා බව හැඟවෙන ආකාරයෙන් ප්‍රකාශ ලබාදී ඇතැයි ද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.

එබැවින් ඉදිරි පරීක්‌ෂණ සඳහා ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවට විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්‌වීම සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය බන්ධනාගාරය තුළදී ඔහුගෙන් අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සපයන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප පෙරේරා මහතා කරුණු දක්‌වමින් කියා සිටියේ පසුගිය 15දා එම සැකකරු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්‌වා ඇත්තේ සැකකරුගේ උපදෙස්‌වලින් තොරව බවයි. තමා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට තමා උපදෙස්‌ නොදුන් බවත් ඒ වෙනුවෙන් ඉල්ලීමක්‌ නොකළ බවත් සැකකරු තමාට ප්‍රකාශ කළ බවද නීතිඥ කල්ප පෙරේරා මහතා පැවසීය.

එම නීතිඥවරයා එදින එසේ ක්‍රියා කර තිබේ නම් එය ඉතා බරපතළ කරුණක්‌ බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය එම කරුණ විත්ති කුඩුවේ සිටින සැකකරුගෙන් නැවත තහවුරු කරගන්නා ලෙස සැකකරුගේ නීතිඥවරයාට දැන්වූවාය.

අධිකරණය කළ එම දැනුම්දීම අනුව සැකකරුගෙන් එම කරුණුq යළිත් තහවුරු කරගත් සැකකරුගේ නීතිඥවරයා ඒ බව අධිකරණයට පෙන්වා දුන්නේය.

නීතිඥ අජිත් ප්‍රසන්න මහතා මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවකු වන අමල් කරුණාසේකර මහතා වෙනුවෙන් ද උපදෙස්‌ ලබා ගැනීමකින් තොරව පෙනී සිට ඇති බවට ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේදී අනාවරණය කළ පොලිස්‌ පරීක්‌ෂක නිශාන්ත සිල්වා මහතා එම නීතිඥවරයාට එරෙහිව සුදුසු පියවරක්‌ ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අවශ්‍ය නීතිමය කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී සුදුසු නියෝගයක්‌ ලබා දෙන බව ද මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී පෙන්වා දුන්නාය.

උප පොලිස්‌ පරීක්‌ෂක එස්‌. එස්‌. සම්පත්, පොලිස්‌ පරීක්‌ෂක ඩී. ජී. ඉලංගසිංහ යන මහත්වරුන් සමඟ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක නිශාන්ත සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය වීය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අචලා සෙනවිරත්න මෙනවිය පෙනී සිටි අතර නීතිඥ කල්ප පෙරේරා මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ඡේ. ඒ. අබේනායක – දිවයින

RSL

Related Posts