උතුරු පළාත් සභාවට නව ඇමැති මණ්ඩලයක්

Spread the love

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාටම එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා තීරණය කර ඇත.

උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි කළ උතුරු පළාත් සභා මන්ත්‍රීන් 16 දෙනා අතරින් 15 දෙනකු හා දුරකතනයෙන් සම්බන්ධ වී අදහස් විමසීමකින් අනතුරුව විග්නේෂ්වරන් මහතා මෙම තීරණය ගෙන ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ‘දිනමිණ’ට පැවැසීය.

මෙහිදී බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් මහ ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී.ගුරුක්කුලරාජා සහ කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් යන දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලින් වැරදි සිද්ධීන් සාක්ෂි සහිතව සනාථ වුවත් ඔවුන් මෙන්ම දූෂණ චෝදනා එල්ලවන සෙසු අමාත්‍යවරුන් දෙදෙනාව ද ඉවත් කළයුතු බවය

ධීවර අමාත්‍ය පී.ටෙනිස්වරන් මහතා සම්බන්ධයෙන් දූෂණ චෝදනා 05කුත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා සම්බන්ධයෙන් චෝදනා 04කුත් පවතින හෙයින් ඔවුනද අමාත්‍යධූර දැරීමට සුදුසු උදවිය නොවන බවත් මොවුන් දෙදෙනාවද ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම උචිත බවත් මෙම මන්ත්‍රිවරුන් තවදුරටත් මහ ඇමතිවරයා සමගින් ප්‍රකාශ කර ඇත. මෙහිදී අමාත්‍යවරුන් සිව්දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් බහුතර මතයක් වී නම් එය සිදුවන බවත් ඊට පෙරාතුව සියලුම උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීම ද අවශ්‍ය බවත් ඉන් අනතුරුව අවසන් තීරණයට එලබෙන බවත් මහ ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් උතුරේ අමාත්‍ය මණ්ඩලයේ දූෂණ සෙවීම සදහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවෙන් අමාත්‍යවරුන් සිව් දෙනාටම එරෙහිව චෝදනා 29ක් අඩංගුව තිබූ අතර ඉන් වැඩිම චෝදනා සංඛ්‍යාවක් එල්ලවී තිබුණේ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යවරුන් දෙදෙනාටය.

එම වාර්තාව සම්බන්ධයෙන් කැඳවා ඇති විශේෂ පළාත් සභා විවාදය හෙට 14 වනදා පැවැත්වීමට නියමිත අතර මහ ඇමතිවරයා විසින් මෙදින අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇතැයි එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කර සිටීයි.

මේ අතර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් ලිපියක් තමන් නියෝජනය කරන තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත ලබා දී ඇතත් මෙතෙක් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත එම ලිපිය නිල වශයෙන් බාර දී නොමැති බව උතුරු පළාත් විපක්ෂ නායක කේ තවරාසා මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ අමාත්‍යවරයකු සිය ධූරයෙන් ඉවත් වන්නේ නම් එය නිල වශයෙන් දැනුම්දිය යුත්තේ ප්‍රධාන අමාත්‍යවරයාට බවත් තමන් නියෝජනය කරන පක්ෂයේ නායකයා හට අවශ්‍ය නම් එම ලිපියේ පිටපතක් පමණක් ලබා දියහැකි බවත් මෙනිසා අමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීම වලංගු නොවන බවත් හෙතෙම කීය.

RSL

Related Posts