කෙහෙළියට අල්ලස්‌ නඩු 14 ක්‌

Spread the love

සිය ධුරය කෙළින්ම හෝ අන්‍යාකාරයකින් පාවිච්චි කිරීමෙන් රජයට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස හෝ පාඩුවක්‌ සිදුවන අයුරින් රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ මුදල්වලින් දුරකථන බිල්, නවාතැන් ගත් හෝටල් ගාස්‌තු හා සේවක ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල හා රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (13 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන්ව නඩු 14 ක්‌ පවරනු ලැබුවේය.

වර්ෂ 2012 මැයි 01 දා සිට එම මස 30 දක්‌වා කාලයේදී සිය ධුරය කෙළින්ම හෝ අන්‍යාකාරයකින් පාවිච්චි කිරීමෙන් යම් තැනැත්තෙකු පෙළඹවීමෙන් ජනාධිපති කාර්යාල චක්‍ර ලේඛයන්ට පටහැනිව වර්ෂ 2012 මාර්තු 15 දා සිට එම අප්‍රේල් 14 දක්‌වා සිය දුරකථන බිල ලෙස රුපියල් 2,30,984.45 ක මුදලක්‌ ගෙවන ලෙසට රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ මුදල් කළමනාකරුට නියම කිරීමෙන් කළ දූෂණ චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාට එරෙහිව චෝදනා 3 ක්‌ යටතේ නඩු පවරනු ලැබිණි.

වර්ෂ 2011 ඔක්‌තෝබර් 13 දා හෝ ඊට ආසන්න දිනකදී රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙසින් අයුතු සහගත, නීති විරෝධී හෝ අර්ථ ලාභයක්‌, අනුග්‍රහයක්‌ හෝ වාසියක්‌ සිදුකිරීමේ ෙච්තනාවෙන් ආණ්‌ඩුවට පාඩුවක්‌ සිදුවන බව දැන දැනම නවාතැන් ගෙන සිටි හෝටලයේ නවාතැන් ගාස්‌තු ලෙස රුපියල් 19,81,638.60 ක මුදලක්‌ ගෙවන ලෙසට එම සංස්‌ථාවේ මුදල් කළමනාකාරවරයා පෙළඹවීමෙන් හා එම සංස්‌ථාවේ සේවක ප්‍රසාද දීමනා ලෙසින් 2011, 2012 හා 2013 වර්ෂ සඳහා රුපියල් 7,24,79,165.60 ක අමතර මුදලක්‌ ගෙවන ලෙසට එම මුදල් කළමනාකාරවරයා පෙළඹවීමෙන් දූෂණ චෝදනා යටතේ එම සංස්‌ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිව චෝදනා 28 ක්‌ යටතේ නඩු පවරනු ලැබුවේය.

අල්ලස්‌ කොමිසම මඟින් ගොනු කළ චෝදනා පත්‍ර කෙරෙහි සැලකිලිමත් වූ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා විත්තිකරුවන්ට ලබන ජුලි මස 17 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසට නියෝග කළේය.

RSL

Related Posts