ඩිස්නිලන්තයේ අද්භූත සිදුවීම් පෙළක්!

Spread the love

Disny13 බටහිර ලෝකයාට සුබ සංඛ්‍යාවක් නොවෙයි. ජේසුස් වහන්සේව පාවාදුන් ජුදාස් අවසන් රාත්‍රීභෝජනයට හිඳගත්තේ 13 වැන්නා හැටියටයි. එල්ලුම් ගසේ මළපුඩුව වෙත නැගයන්නට ඇති පඩි ගණන 13 ක්. යමෙකුගේ නමට අකුරු 13 ක් ඇත්නම් ඔහුට යක්‍ෂයා සමග බැඳීමක් පවතිනවා.

1313, ඩිසිනිලන්ත මාවත, ඇනහයිම්, කැලිෆෝර්නියාව. ඒ ඩිස්නිලන්තය පිහිටා ඇති තැන ලිපිනයයි. “මිකී මවුස්” (Mickey Mouse) “MM”, M අකුර ඉංග්‍රීසි හෝඩියේ 13 වැනි අකුර! ඩිස්නිලෝකයේ ප්‍රියතම සුරතලාගේ නමත් 13 ඒවාම දෙකක්!

ලෝකයෙන්ම පළමුවැනි තැන ලබන විනෝද ලෝකය අන්ධකාර බලවේග අරක්ගත් තැනක් බවට එකහෙළා විශ්වාස කරන අය ගෙනහැරපාන දත්ත ඔන්න ඔයවිදිහයි.

ඒ කොහොම වුනත් “ජෝර්ජ්“ ගැනනම් ඩිස්නිලන්තයේ වැඩකරන කොයි කවුරුත් හොඳින්ම දන්නවා.

ජෝර්ජ්, පයිරට්ස් ඔෆ් ද කැරිබියන් නැව් සවාරිය හදන කාලයේ එහි වාත්තු වැඩ කළ කෙනෙක්. නමුත් එක දවසක් අනපේක්‍ෂිත අනතුරක් සිදුවුණා. ඇද වැටුනු යකඩ බාල්කයකට යටවීමෙන් හිස පොඩිපට්ටම් වූ ජෝර්ජ් ඩිස්නිලන්තය තුළම අවසන් සුසුම් හෙළුවා. එතැන් පවන් පයිරට්ස් ඔෆ් ද කැරිබියන් නැව් සවාරිය අවට තැන් වල අමුතු දේවල් සිදුවෙනවා. අමුතු විදිහට දැනෙනවා. හිටි ගමන් හේතුවක් නොමැතිව දුරකථය නාද වීම ඉන් එකක්. කිසිවෙකු පෙනෙන්නට නැතත් කවුරුන් හෝ කෙනෙකු ඇවිදින හඬ ඇසීමේ අත්දැකීම ලැබූ කාර්යමණ්ඩල සේවකයන් බෙහෝ ගණනක් සිටිනවා. ඔවුන් කවුරුත් යකඩ බාල්කයට යටවූ ජෝර්ජ් තවමත් ඩිස්නිලන්තය හැරදා ගොස් නොමැති බව දැන් දන්නවා. ඒ නිසාම හැම කෙනෙක්ම චාරිත්‍රයක් වශයෙන් උදේ වැඩට එද්දී “සුබ උදෑසන්ක් ජෝර්ජ්“ කියන්නත්, වැඩ නිමවී යත්දී “සුබ රාත්‍රියක් ජෝර්ජ්“ කියන්නත් පුරුදුවී සිටිනවා. එහෙම නොකළහොත්…

ජෝර්ජ්ගෙන් විසුමක් වන්නේ නැහැ. විදුලි බලය ඇණහිටීම්, විනෝද සවාරි වටය අතර මග නතරවීම් ආදී ඕනෑම දෙයක් ඕනෑම මොහොතක සිදුවිය හැකියි.

මේ ලෝකය දාලා යන්න අකමැත්තෙන් ඩිස්නිලන්තයට වී සිටින්නේ ජෝර්ජ් පමණක් නොවෙයි.

වයස අවුරුදු අටක් පමණක් ආයු වැළඳූ එක පුංචි පිරිමි දරුවෙකුගේ අවසාන කැමැත්ත වී තිබුණේ තමන් බොහෝ ආසා කළ ඩිස්නිලන්තයේදී අවසන් ගමන් යන්නයි. ඒ නිසා ඒ දරුවාගේ අවමංගල්‍ය කටයුතු ඩිස්නිලන්තයේ හොල්මන් මන්දිරය ඇතුලේ සිදුකරන්න බලධාරීන් අවසර දුන්නා. නමුත් ඒ පුංචි ළමයා යන්නම යන්න ගිය බවක් අදටත් දකින්න නැහැ.

disny2

ඩිස්නිලන්තයේ නර්තන ශාලා අස්සේ නාඳුනන පිරිමි ළමයෙක් ගැවසෙන හැටි බොහෝ අය දැක තිබෙනවා. ඔහුත් එක්ක කතාබහ කරන්න කාටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔහු දුවනවා. එක්කෝ කතාකළාට ඇහුණේ නෑ වගේ ඉන්නවා. නැත්නම් එහෙ බලා මෙහෙ බලත්දී අතුරුදන් වෙනවා. සංචාරකයෝ හොල්මන් මන්දිරය අවට විනෝද කෝච්චි සවාරි වල යමින් ඉද්දී පුංචි පිරිමි ළමයෙක් හිනාවෙන හඬ ඇහෙනවා. සවාරිය අවසන් වෙත්දී ඔහු හඬන බව ඇහෙනවා. එක්වතාවක් සංචාරකයෙකු ගත් ඡායාරූපයක, අවුරුදු අටක පමණ නාඳුනන පිරිමි ළමයෙක් පැත්තකින් එබී ඉන්න හැටි දක්නට ලැබුණා. ඡායාරූපය ගන්නා වේලාවේ ඒ වයසේ දරුවෙක් එතැන සිටියේ නැහැ.

ඔය අතරවාරයේ එක්තරා වඩාත් ලොමු දැහැගැන්වෙනසුලු සුදුවීමක් 1999 වසරේ දී සිදුවුණා. ඒ බෝනික්න්ගේ අඩවිය හරහා යන විනෝද කෝච්චි සවාරිය අතරයි. හිටිහැටියේම විදුලි බලය ඇණහිටියා. කෝච්චිය නතරවුණා. හාත්පස මුළුමනින්ම කළුවරවී ගියා. එක් තරුණියක් සිය කැමරා සේයාපටයේ අවසන් රාමු කිහිපය ඉවරකරගැනීමට සිතා කළුවරේම ඡායාරූපයක් ගත්තා. මද වේලාවකින් විදුලිය ලැබුණා. සවාරිය යළි ගමන් ඇරඹුවා. නරක කිසියමක් සිදුවුනේ නැහැ. නමුත් තරුණියට උන්හිටිතැන් අමතක වන සිදුවීම සිදුවුණේ සේයා පටල වලින් ඡායාරූප මුද්‍රණය කරගත් පසුවයි. එදා අඳුරේ ගත් ඡායාරූපයෙහි සටහන්ව තිබුණේ බෙල්ලට දැමූ තොණ්ඩුවකින් එල්ලෙන කුඩා දරුවෙකුගේ රූපයක්! ජර්යේෂකයෝ ඡායාරූපය ගැන සියුම්ව සොයා බැලුවා. ඒ නියත වශයෙන්ම සැබෑදරුවෙක්ද? බෝනික්කෙක්ද? දෘෂ්ටි මායාවක්ද? ඒ කිසි ආකාරයක් තහවුරුකරගන්න කාටත් හැකිවුණේ නැහැ. තොණ්ඩුවෙහි එල්ලුණු ළදරු රූපය කුමක් වුවත් ඩිස්නිලන්තයේ බොනික්කෝ, කිසිවෙකුගේ අනුදැනුමක් නොමැතිව, තැන් ඉරියව් මාරුකර ගන්නා බව එහි කවුරුත් දන්නා බියජනක ප්‍රසිද්ධ රහසක්.

disny3

ඩිස්නිලන්තයේ හොල්මන් අතර ප්‍රධානතම හොල්මන එහි නිර්මාතෘ වෝල්ට් ඩිස්නිගේම අවතාරය යැයි බොහෝ දෙනා අදහනවා.

2009 වසරේදී එක් අද්භූත දර්ශන පෙළක් රාත්‍රියක, ඩිස්නිලන්තයේ ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. ඒ සුදු පැහැ විනිවිද පෙනෙන, දිලිසෙන මිනිස් සිරුරකට සමාන දෙයක්. ඔහු හෝ එය උද්‍යාන පෙත් මගක් ඔස්සේ ඇවිද එනවා. වසා ඇති යකඩ ගේට්ටුව තුළින් ගමන්කරනවා. පෙත් මගෙන් ඉවත්ව තණබිම ඔස්සේ ගොස් අසල ඇති පොකුණේ ජලය මතින් ඇවිද යනවා!

මේ අද්භූත දර්ශනය වෙනස් වෙනස් කෝණ වලින් ආරක්‍ෂක කැමරා 4කම එකවිට සටහන්ව තිබුණා. බොහෝ අය සිතන්නේ ඒ, අන්ධකාරයේ ඩිස්නිලන්තයේ සැරැසරන වෝල්ට් ඩිස්නි ගේ අවතාරය බවයි.

ඩිස්නිලන්තයේ ගිනිනිවන හමුදා ශාලාව නමින් හඳුන්වන ගොඩනැගිල්ලේ කාමරයක අදටත් වෝල්ට් ඩිස්නි වෙනුවෙන් විදුලි පහනක් නොනිවී දැල්වෙමින් තිබෙනවා. ඩිස්නි වඩාත් ප්‍රියකළ සහ විශේෂ අමුත්තන් හමුවන්න, උත්සව පවත්වන්න යොදාගත් ගොඩනැගිල්ල මෙයයි. 1966 වසරේ දෙසැම්බර් 15 වැනිදා වෝල්ට් ඩිස්නි මිය ගියා. ඔහු මිය ගිය දිනයේම ඩිස්නිලන්ත ගිනිනිවන හමුදා ශාලාවේ, ඩිස්නිගේ කාමරයේ දැල්වුණු විදුලි පහන නිවාදමන්න සේවිකාවක් උත්සාහ කළා. නමුත් නිවන්න නිවන්න විදුලි බුබුල යළි යළිත් දැල්වුණා. එතැන් පටන් අද දක්වා ඩිස්නිලන්ත කාර්යමණ්ඩලය එහි විදුලි පහන දිගටම දල්වා තබනවා. ඒ ඩිස්නිලන්තයේ නිමැවුම් කරුවා වෙනුවෙන්. ඒ අතර වාරයේ තට්ටු කරන හඬවල්, පියවර තබන හඬවල්, සුළඟක් නැතිව ඈත් මෑත්වන තිර රෙදි ඒ ගොඩනැගිල්ලේ නුහුරු අද්දැකීම් නෙවෙයි.

සතුටු හැඟීම හැර වෙන කිසිවක් වාතලය හා මුසු නොවන ලෝකයෙන්ම ප්‍රමුඛ විනෝද උද්‍යානය වන ඩිස්නිලන්තය දුෂ්ට ආත්මයන්ට අරක්ගතහැකි තැනක් විය හැකිද?

ඩිස්නිලන්තය පදනම් වුණු හොල්මන් අවතාර කතා බොහොමයි. නමුත් ඒ කිසි අවතාරයක් අද වෙනතුරු දුෂ්ට වැඩක් කළ බව නම් වාර්තා වන්නේ නැහැ, ඔවුන්ගේ සාමාන්‍ය ගමන් බිමන් විහිළු තහලු සහ දඟකාරකම් එහි එන අය බියවන්න කාරණයක් කරගන්නවා හැරෙන්න!

ඇත්තෙන්ම අපි හොල්මන් අවතාර වලට බිය ඇයි? තමන් ඉතා ආදරය කළ කෙනෙකු පවා මළ පසු යළි දකින්න ලැබුණොත් බියවීමට මුල් වන චිත්තවේගය කුමක් විය හැකිද? මිනිස් චිත්ත සන්තානයේ විගඩම් ගැන කතාකරන්න ඩිස්නිලන්තය ගැලපෙන තැනක් වන එකක් නැහැ. නමුත් ඒ අතරම, අතැම් අය භූතාත්මයක බලපෑමක් නිසායැයි කියන, නොදන්නා හේතුවක් මත තමන්ගේම ඇඟමස් කඩා කා අකාලයේ මියැදුන දරුවාගේ වැනි ඛේදජනක සහ බියජනක කතා ප්‍රවෘත්ති අපේම රටෙන් පවා නිතර අසන්නට ලැබීම නොතකා හරින්නත් බැහැ.

ඩිස්නිලන්තය මේ ලෝකය හැර යන්න අකමැතිවූ අයගේ නවාතැනක් වීම ගැන ලුහු පැහැදිලි කිරීමක් තිබෙනවා. එහි ගොස් ඇති බොහෝ දෙනා තමන් මේ ලෝකේ යන්න ආසම තැන කොහේදැයි ඇසුවොත් ඒ ඩිස්නිලන්තය යැයි කීම අරුමයක් නොවෙයි. ඩිස්නිලන්තය කියා ලස්සන ඇති තැනක් ලෝකයේ ඇති බව දැන ගන්නා ඕනෑම පොඩිත්තෙකුගේ සිහිනය කවදා හෝ ඩිස්නිලන්තයට යාම වීමත් පුදුමයක් නෙවෙයි. ඉතින් එසේ තදින් ඩිස්නිලන්තයට හිතින් බැඳුණ අය එහිම ඉන්නට සිතා සිටීම ගැන අපට ඔවුනට දොසක් කියන්නට හැකිද! ඒ සියල්ල අතරේ තමන් ආදරය කළ ඩිස්නි ලන්තයට ආශාකල අයගේ භෂ්මාවශේෂ එහි විසුරුවා හැරීම ඇතැම් අය කරන ආත්මාර්ථකාමී චාරිත්‍රකර්මයක්. ඉතින් සොහොන් පිටිවල හොල්මන් ඇත්නම් ඩිස්නිලන්තයත් එක්තරා ආකාරයක සොහොන් පිටියක්!

කෙසේවෙතත් දැනුවත්ව එවැනි දේවල් කරන්න ඩිස්නිලන්ත කාර්යමණ්ඩලයෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ.

-අඛිල රන්සිරි මලලගේ-

RSL

Related Posts