ජනාධිපතිවරණයෙන් පස්සේ කුණු කන්ද ඉවත් කරන්නයි හිටියේ – කු.පා.ම. මහින්ද

Spread the love

යුද්ධය අවසන් කිරීමට ප්‍රමුඛත්වයදී කටයුතු කිරීම නිසා බලයේ සිටි කාලයේදී මීතොටමුල්ල කසළ කන්ද ඉන් ඉවත් කිරීමට නොහැකි වූ බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී පැවැසීය.

අලුත් අවුරුදු උදාවෙන් පසු ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනා කිරීමට පෙර හිටපු ජනාධිපතිවරයා බෝ මළුව විහාරස්ථානයේදී රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන සහ ලංකාරාමාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක රළපනාවේ ධම්මජෝති නාහිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

දහසක් දේ ගැන සිහින මවමින් ආණ්ඩුවට එක වරක් රැවටුන ජනතාව නැවත වරක් නොරැවටෙන බව තමන් විශ්වාස කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්වලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුවට මුකුත් වෙනස් කරන්න බැහැ. අවුරුදු දෙක හමාරක් ගත වෙලත් ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු වුණේ නෑ. මේ ආණ්ඩුවේ අයට අපි කරපු ටිකවත් කිරීමට නොහැකිවී තිබෙනවා. ඒක තමයි වෙනස. මීතොටමුල්ලේ කුණු කන්දත් කඩාගෙන වැටුණා. මම යුද්ධ කර යුද්ධය ජයග්‍රාහීව අවසන් කළා. රට සංවර්ධනය කළා. කුණු කන්ද එතනින් ඉවත් කිරීමට මුදල් වෙන් කළා. ජනාධිපතිවරණයෙන් පසු ඒ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ.

මේ ආණ්ඩුවේ අයට කුණු කන්ද ඉවත් කිරීමට ප්‍රශ්නයක් තිබුණේ නෑ. රටේ යුද්ධයක් නෑ. රටේ පාරවල් ටික හදලා තියෙනවා. කෝච්චි තිබුණා. කුණු ටික අරගෙන මෙයාලට තිබුණේ කෝච්චියේ දාලා පුත්තලමට යවන්න විතරයි. ඒක මේ අය කළේ නෑ. ඒකයි මෙයලාගෙ දුර්වලකම. අපි එක පැත්තකින් මේවා ගැන කතා කරලා වැඩක් නෑ. මිනිසුන් ටික මැරිච්ච එක විතරයි අවසන් ප්‍රතිඵලය වුණේ. මේ වගෙ දේවල් මින් මතුවට නොවෙන්න පසු ගිය ආණ්ඩුව විසින් කළ වැඩපිළිවෙළ සහ සැලසුම් දිගටම කරන එක තමයි ආණ්ඩුවට තියෙන්නේ. අපි නිකම්ම නිකන් ආවට ගියාට වැඩ කළේ නෑ. යම්කිසි සැලැස්මක් අනුවයි අපි වැඩ කළේ. අප සාර්ථකයි කියලා ඔප්පු කර පෙන්වලා තිබෙනවා.

මේ ආණ්ඩුවේ මහ බැංකුව සතුව විදේශ මුදල් සංචිතයේ කීයක් තිබෙනවාද කියලා හොයලා බලන්න. ජනතාවට කියන්න දේවල් තිබෙනවා. ආණ්ඩුවට ඕනැ දෙයක් කරන්න කියන්න පුළුවන්. මේ හැම දේටම ඇහුම්කන් දෙයි. නමුත් ජනතාව දන්නවා ඒ වගේ හොඳ නරක බේරා ගන්න. ඇත්ත බොරුව මොකක්ද කියලා දැන් ජනතාව දන්නවා. මම හිතන විදියට ජනතාව එක පාරක් රැවටුණායින් පසුව තව පාරක් රැවටෙන්නෙ නෑ.

ඒකාබද්ධ විපක්ෂය ගෝල්පේස් පිටියේ ඉතාම සාර්ථක මැයි රැලියක් පවත්වනවා. එදාට ගෝල් පෙස් පිටිය පිරෙන්න ජනතාව පැමිණේවි. අපට ජනතාව ගෙන්න ගන්න ඕනෙ නෑ. ඒ අය මොන ක්‍රමයකින් හරි මැයි රැලියට පැමිණෙනවා. අපිට ලංගම බස් දෙන්නෙත් නැත්නම් පෞද්ගලික බස් රථ දෙන එකත් නතර කරනවා නම් ජනතාව මැයි රැලියට එන්න ක්‍රමයක් සකස් කර ගනීවී. මගේ විශ්වාසයක් තිබෙනවා ජනතාව කෝච්චියෙන් හරි එයි කියලා. සමහරුන් කලින් දවසෙ කොළඹට එයි. ඇවිල්ල කොහේ හරි නැවතිලා ඉඳියි. දැනටම ජනතාව ඒකට ලෑස්ති වෙලයි ඉන්නෙ. මොකද මේවා දැනගෙන තමයි අපි වැඩ කරන්නේ.

මේ ආණ්ඩුවේ ආයුෂ කෙටියි. මම කියන්නේ වැඩිමකාලයක් නැහැ. මේ වෙසක් පෝයෙන් පස්සෙ ආණ්ඩුවට මොකද වෙන්නෙ කියලා බලමු.

RSL

Related Posts