එජාපෙට පනින්න හිටිය ජොන්ස්ටන් හිරේ යද්දී, මහින්දානන්ද නිදැල්ලේ සිටින එක රහසක් ද..?

Spread the love

පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇති අතර, අද(03) එම නඩුව කුරුණෑගල මහාධිකරණයේ කැඳවු අවස්ථාවේදී මෙතෙක් ඇප මත සිටි හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළාය.

මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට එහිදී තීරණය වී තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වූ මොහොමඩ් ෂකීර් යන අය ද රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරතුර, වයඹ මැතිවරණ සමයේ කුරුණෑගල ලංකා සතොස ගබඩා තුනකින් රුපියල් ලක්ෂ 52 ක භාණ්ඩ ලබාගෙන, මුදල් අවභාවිත කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා එල්ලවී තිබේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අමාත්‍යවරයා, ලබාගත් භාණ්ඩවලට අවශ්‍ය මුදල් ගෙවීම කර ඇති බව ප්‍රකාශ කරයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන වැඩසටහන්වල දක්නට නොලැබුණු අතර ඔහු ඒකාබද්ධයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට පනින බවට පසුගිය දිනවල ප්‍රචාරයක් ගියේය.

කෙසේ වෙතත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට වඩා වංචා සහ දූෂණ වලට සම්බන්ධයෙන් කුප්‍රකට මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නඩු පැවතියද ඔහු මේ වන විට නිදැල්ලේ සිටීම ප්‍රශ්නාර්ථයක් වන අතර ඒ කාගේ දේශපාලන බලය, රැකවරණය සහ උවමනාව මතද යන්න ප්‍රසිද්ධ දේශපාලන රහසකි. මීට ඉහතදී ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණීමට නියමිතව සිටි බවද ඒ සඳහා රහස් සාකච්ඡා පැවති බවද තවත් ප්‍රසිද්ධ දේශපාලන රහසකි.

RSL

Related Posts