අපේ ජනබලය උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන්න

Spread the love

‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පැවැසීය.

මේ උද්ඝෝෂණය සඳහා ආණ්ඩුව හීනෙන්වත් නොසිතන පිරිසක් සහභාගි වන බවත් මෙය නැවැත්වීමට ආණ්ඩුවේ පිරිස් දවල් හීන දකින බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය. එමෙන්ම ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කරමින් මොනරාගලට ගොස් බාල් නටන බවටද මන්ත්‍රිවරයා චෝදනා කළේය.

බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගියදා මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන පස් වැනිදා සංවිධාන කරන උද්ඝෝෂණය අවශ්‍ය නම් පටන් ගත්ත තැනම නතර කරන්න පුළුවන් කියලා සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර කියනවා. පුළුවන් නම් මේ උද්ඝෝෂණය නතර කරලා පෙන්වන්න කියලා අපි මහ ලේකම්වරයාට අභියෝග කරනවා. ආණ්ඩුව මොන ක්‍රියාමාර්ග ගත්තත් ආණ්ඩුවට එරෙහිව වීථි බසින්න ජනතාව සූදානමින් ඉන්නවා. ජනතාව කොළඹට එන්නේ සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන්න. නමුත් අනවශ්‍ය බලපෑම් කරලා යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණොත් එහි වගකීම් සම්පූර්ණයෙන්ම ආණ්ඩුව භාරගත යුතුයි.

අගමැතිවරයා ආරක්ෂක සමුළුව අමතමින් කරපු දේශනයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් සඳහන් නොකිරීමට වගබලා ගත්තා. ඒ වගේම රණවිරුවන් සිරගත කිරීම සම්බන්ධයෙනුත් ඔහු කිසිවක් කිව්වේ නැහැ.

චතුර සේනාරත්න මහත්තයාට විවාහ උත්සවය සඳහා අරලියගහ මන්දිරය ලබාදීම සම්බන්ධයෙන් විශාල මහජන විරෝධයක් ගොඩනැඟිලා තියෙනවා. ඒ නිසා විවිධ උත්සව සඳහා එම ශාලාව කුලියට දීමට ආණ්ඩුවේ ප්‍රධානීන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අගමැතිවරයා මේ විවාහය සඳහා අරලියගහ මන්දිරය ලබා දීම ඔහු චතුර සේනාරත්නට සහ රාජිත සේනාරත්නට ලබාදීපු ත්‍යාගයක්.

රට හදන්න මේ ආණ්ඩුවට මුදල් නැති වුණාට, රට විනාශ කරන්න මේ ආණ්ඩුවට සල්ලි තියෙනවා. මහ බැංකුවේ සල්ලි ටික රුපියලක්වත් තාම වියදම් වෙලා නැහැ. ඒ සල්ලි තමයි විවිධ සදාචාර නොවන ක්‍රියාමාර්ගවලට වියදම් කරන්නේ.

RSL

Related Posts