මහබැංකු බැඳුම්කර මහා වංචාව පසුපස ජනපති නොනැවතී පන්නයි! සටන දැඩිවෙයි!

Spread the love

2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තිබුණු ශ්‍රී ලංකා මහබැංකුවේ මෙරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ අතිදැවැන්තම මහ බැංකු බැඳුම්කර වංචාව හෙවත් මහබැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පෙන්වා දෙති.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරික්ෂණ කටයුතුවල වත්මන් ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට අද(21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරායගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවත්, අධිකරණ නියෝග අනුව ඔහු ඉදිරිපත් කරන ලෙස ලංකා රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත්, සිංගප්පුරු රජය මේ වන තෙක් නිසි පියවර ගෙන නොමැති බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණි.

මෙම බැඳුම්කර වංචාවට අදාළව දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන්ට මෙතෙක් චෝදනා පත‍්‍ර බාරදී නොමැති බැවින් ඔවුන්ට අදාළ චෝදනා පත‍්‍ර කඩිනමින් බාරදීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ අක‍්‍රමිකතා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත බොරු සාක්ෂි ලබාදීම පිළිබඳ චෝදනාවට ලක් වූ චූදිතයන් සහ මෙම පරීක්ෂණවලට අදාළ සාක්ෂි විනාශ කළ චූදිතයන්ට නඩු පැවරීම මේ දක්වා ප‍්‍රමාද වී ඇති අතර, ඔවුන්ට කඩිනමින් නඩු පැවරීමේ වැදගත්කම ද මෙහිදී අනාවරණය කෙරිණි.

මහබැංකු මංකොල්ලයේ වග උත්තරකරුවන්ට අදාළ පරීක්ෂණ අවසන් කර නියමිත කාල රාමුවක් තුළ ඔවුන් වෙත නඩු පැවරීමට කටයුතු කළ යුතු බවට ද තීරණය විය.

මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මෙම නඩුවලට අදාළ පනත් සංශෝධනයේ දී පාර්ලිමේන්තුවේ ආංශික කමිටුව මේ සඳහා බාධා පුමුණුවා ඇති බවයි.

තව ද මෙම අතිවිශාල මුදල් අක‍්‍රමිකතාවය පිළිබඳ නිවැරුදි තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපති කොමිසම විසින් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට 2018-01-18 වන දින තීරණය කළ ද මේ වන විට වසරක් ගතව ඇතත්, එය සිදු නොවීම බරපතළ වරදක් හා ප‍්‍රමාදයක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැහැදිළි කළහ.

වගඋත්තරකරුවන් භාවිතා කළ දුරකථනවල හඬ පටවල මෙම පරීක්ෂණ කටයුතුවලට අදාළ වැදගත් කොටස් මකා දමා ඇති බවත්, එම හඬ පට ද විශේෂඥවරුන්ගේ නව තාක්ෂණික පරීක්ෂාව සඳහා මෙතෙක් පිටරට යවා නොමැති බවත් හෙළි විය.

ඉහත කරුණු අනුව මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ ව පවත්වනු ලබන පරීක්ෂණ කඩිනම්ව සිදු කිරීමට හැකි නොවන පරිදි අදාළ ආයතනවලට බලපෑම් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මෙම සියලූ කරුණුවලට අනුව මෙම පරීක්ෂණ කඩිනම් කිරීමට සහ නියමිත කාල රාමුවක් තුළ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කිරීමත්, වෝහාරික විගණනය ප‍්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමත් යන කරුණුවලට ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තිරණය විය.

එමෙන් ම ඉදිරියේ දී මසකට වරක් මෙම පරීක්ෂණවල ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.

අදාළ පරීක්ෂණ කටයුතුවල දී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, මහ බැංකුව ඇතුළු සියලූ ආයතන අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරනු ඇති බව රටේ ජනතාවගේ විශ්වාසය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මහබැංකුවේ වැඩබලන අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරිහු මීට එක්ව සිටියහ.

RSL

Related Posts