සුව ඇමති නීතිපතිගෙන් මසාජ් සෙන්ටර් ගැන කරුණු විමසයි!

Spread the love

කූට ලේඛණ සකස් කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවැති දේශීය වෛද්‍ය පළාත් අමාත්‍ය සමුළුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමුළුවට එක්ව සිටි පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ කූට ලේඛණ සකස් කර ගනිමින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන රැසක් ඇති බවයි. බස්නාහිර පළාතේ මහරගම නගර සභා බල සීමාවේ එවැනි සම්භාහන මධ්‍යස්ථාන 300 ක් ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණි. නමුත් එම නගර සභා බල සීමාව සඳහා අවසර ගෙන ඇත්තේ සම්භාහන මධ්‍යස්ථාන 04 කට පමණි. මෙම සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය සෙනසුරාදා පොලීසිය, මහරගම නගර සභාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පරීක්ෂණයක් ද සිදු කර ඇත. නමුත් ප්‍රමාණවත් නීති නොමැතිවීම නිසා මෙම සම්බාහන මධ්‍යස්ථාන ඉවත් කිරීමට නොහැකි වී තිබේ. ඒ පිළිබඳව නීතියක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නීතිපතිවරයාගෙන් කරුණු විමසන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

තවද පෞද්ගලික අංශ අධීක්ෂණ සඳහා දේශීය වෛද්‍ය පෞද්ගලික ආයතන නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම ද උචිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. මේ අතර සියලුම පළාත් සභාවල දේශීය වෛද්‍ය සේවාව නගා සිටුවීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය සැළසුම් සකස් කර මාසයක් තුළ ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ට මෙහිදී දැනුම් දෙන ලදී.

RSL

Related Posts