20ට මුවාවේ ඡන්දය කල්දැමීමේ සැලැස්මට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!

Spread the love

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට හා ජනාධිපතිවරණය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා හැටියට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කරයි.

කුමන ක්‍රමයකට හෝ මැතිවරණ පැවැත්විය යුතු බව තම පක්‍ෂයේ ස්ථාවරය බවද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ (10දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගැනීම පැවරෙන්නේ ජනතාවට නොවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ සරල බහුතරයෙන් ජනාධිපතිවරයා පත් කරගත හැකියි.

නමුත් 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද අයිතිය භාවිත කිරීම ජනතාවට නැති වෙනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මෙම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය ලැබෙයි කියලා. 2/3 බහුතරය ලබා ගත්තත් ඊට අමතරව ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වීමට අනිවාර්ය නීතිමය තත්ත්වයක්.
20 වැනි සංශෝධනය නිසා තව දෙයක් යට වෙනවා. ඒ තමයි පළාත් සභා මැතිවරණය පැවැත්වීම. ආණ්ඩුව කියෙන්නේ මේක තරු 05 ප්‍රජාතන්ත්‍රවාදය කියලා. පළාත් සභා 03ක ඡන්දය මාස 11ක් තිස්සේ කල් දමලා. තවත් පළාත් සභා 03ක පාලන කාලය ලබන මාසෙන් අවසන් වෙනවා. ඒ පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන,

පසුගිය දිනවලදී අපි දුටුවා ජනාධිපතිවරයා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් රටට ප්‍රකාශ කරනවා ජනාධිපතිවරණය නියමිත දිනට එක දිනයකට කලින්වත් පවත්වන්නේ නැහැ කියලා. අපි ජනාධිපතිවරයාට කියනවා නියමිත දිනටම ජනාධිපතිවරණය පවත්වන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහුට අපි කියනවා නියමිත දිනට මැතිවරණ පවත්වනවා නම් පළාත් සභා මැතිවරණයත් නියමිත දිනට පවත්වන්න.

ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයාට වැඩිය විධායක බලතල තියෙන අගමැතිවරයෙක් තමයි ඊළඟ පාර පත් කරගත යුත්තේ කියලා. ඒ වගේම ඔහු හොරකම්, දූෂණ, වංචා නොකරන පුද්ගලයෙක් විය යුතුයි කියලත් ඔහු ප්‍රකාශ කරනවා. සිරිසේන ජනාධිපතිවරයා අගමැතිවරයෙක් තෝරා ගත යුතුයි කියලා කියන්න හදන්නේ දැන් ඉන්න අගමැති හොරකම් කරන, ජාතික සම්පත් විකුණන අගමැතිවරයෙක් කියලානේ. මේ යහපාලන ආණ්ඩුව දැන් කසාද බැඳපු ජෝඩුවක් තරහ වෙලා එක ගෙදර ඉන්නවා වගේ. එකට කන්නේ බොන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. හැබැයි ගෙදරින් එළියට බහින්නේ එකට. ඒ වගේ තමයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ශ්‍රී ල.නි.ප.ය සහ එ.ජා.ප.ය.

ඒ වගේම තමයි ජනාධිපතිවරයා කියනවා ශ්‍රී ල.නි.ප.ය නැතිව පොහොට්ටුවටවත් එ.ජා.ප.යටවත් ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියලා. බණ්ඩාරනායක මහත්තයා එ.ජා.ප.යෙන් ඉවත් වෙලා ඇවිල්ලා පිහිටෙව්ව පක්‍ෂය ශ්‍රී ල.නි.ප.ය. කිසිවෙක් නැතිව කිහිප වතාවක්ම ශ්‍රී ල.නි.ප.ය ආණ්ඩු පිහිටෙව්වා. එහෙම පක්‍ෂයක් මොකටද වෙන කාටවත් ආණ්ඩු හදන්න උදවු කරන්නේ.

සරත් විජේසූරිය මහතා පසුගිය කාලයේ විවිධ ප්‍රකාශ සිදු කළා. දැන් ආයෙමත් ඔහු කියනවා අපි තව පොදු අපේක්‍ෂකයෙක් හොයනවා කියලා. පරණ එක මාකට් එකට දාලා දැන් විකුණන්න බැරි නිසා අලුත් සැඟවුණු අමුත්තෙක් හොයනවා. මේ මහත්වරු තමයි රට කෑවේ. මේ අයට කවදා හරි දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දෙනවා.

ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව දැන් හොඳට තේරෙනවා. ජනබලයෙන් කොළඹ ආව ජනතාව කෑගැහුවේ ආණ්ඩුවට. හැබැයි උණ ගත්තේ ජ.වි.පෙ.ට.

කිරි පැකට් එකට මොනවද දාලා දුන්න එකත් සාධාරණීකරණය කරන්න හදනවා ජවිපෙ. අද අපේ රටේ තිබෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්. ජවිපෙ කැමැති අස්ථාවර ආණ්ඩුවකට.

මොකද ඒ අයට කතා කරන්න මාතෘකා තිබෙනවා අස්ථාවර ආණ්ඩුවක් තිබෙන විට. ඒ වගේම ඔවුන්ට හොඳට සල්ලි හම්බ කරගන්නත් පුළුවන්. ජන බලයට සෙනඟ ආවේ නැත්නම් තැටිය රත්වුණු වෙලාවේ රොටිය දාගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

RSL

Related Posts