අපි නැතුව ආණ්ඩු හදන්න බෑ

Spread the love

දවස් තුනකට පමණ කලින් පොහොට්ටුවේ මහත්වරු කොළඹ විරෝධතාවක් තිබ්බා. ඒ විරෝධතාව පොහොට්ටුවේ ජයග්‍රහණයක් කියලා ඒ අය කියනවා. නමුත් පොහොට්ටුව බංකොළොත් කියලා එක්සත් ජාතික පක්‍ෂය කියනවා. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්‍ෂයයි මේ දෙපිරිසම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක තමයි ඉන්නේ.

මම ඒක කියන්නට ඕනෑ. පොහොට්ටුව හිතනවා නම් තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒකත් මිථ්‍යාවක්. යූ.එන්.පී. එක හිතනවා නම් ඒ අයට තනියෙන් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒකත් මිථ්‍යාවක්. පොහොට්ටුවටත්, යූ.එන්.පී.යටවත් කාටවත් අපි නැතිව ආණ්ඩු හදන්න බැහැයි කියන එක බොහෝම පැහැදිලිව මම කියනවා. ඒ නිසා අපිට තිබෙන්නේ ඉදිරි කාලය තුළ පක්‍ෂයේ සංවිධාන ශක්තිය ගොඩනඟා ගන්න එක.

ජනාධිපතිවරයා එසේ පැවැසුවේ නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන තව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය දුප්පත් ජනතාවට ඇළවල්වල, ගංගාවල කූඩෙන් මැණික් ගරන්න දෙන්නේ නැහැයි කියන ප්‍රශ්නය. මම පරිසර ඇමැතිවරයා විදියට පසුගිය කාලවල මේ සම්බන්ධයෙන් යම් යම් උපදෙස් දුන්නා. රත්නපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවට කූඩෙන් මැණික් ගරන්න සම්පූර්ණ ඉඩ දෙන්න කියලා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියට සහ අදාළ රජයේ නිලධාරීන්ට උපදෙස් දෙනවා. ඒ අවසරය දීමට මම කටයුතු කරනවා. ඒක මේ සතියේ ඉඳලාම ක්‍රියාත්මක කරනවා. පොලිස් විශේෂ කාර්ය බළකායටත් පොලිසියටත් මැණික් සංස්ථාවේ නිලධාරීන්ට ඒ වගේම පරිසර ආයතනවල නිලධාරීන්ට ඒ සියලු දෙනාටම ඒ සඳහා ඉඩකඩ දෙන්න කියලා උපදෙස් දෙනවා. ඔබට මෙතෙක් කල් සිද්ධ වුණු හිරිහැර කරදර කරන්න එපා කියලා උපදෙස් දෙනවා.

ආණ්ඩුවක් විදියට අපි හොඳින් වැඩ කරගෙන යනවා. එහෙම වැඩ කරගෙන යන කොට ආණ්ඩුවකට විවේචන එන එක සාමාන්‍ය දෙයක්. රටක් විදියට සෑම දිස්ත්‍රික්කයකම විශාල සංවර්ධන වැඩකොටසක් කරගෙන යනවා.

යූ.එන්.පී.යත් එක්ක එකතු වුණේ මහින්ද රාජපක්‍ෂ මහත්මයාට බැරි වුණු දේ කරන්න. අපි ඒක කළා. මොකක්ද ජාත්‍යන්තරය ජයග්‍රහණය කරගන්න එක. ජාත්‍යන්තර විරෝධතා ඉවත් කරගන්න එක. රට වෙනුවෙන් තිබුණු ජාත්‍යන්තර විරෝධතා ඉවත් කරලා ජාත්‍යන්තරය මිත්‍රශීලී කර ගන්න එක. ඒක අපි කරගත්තා. ඒ අනුව තමයි අද ලෝකයේ හැම රටකින්ම ආධාර ගලාගෙන එන්නේ.

ජනාධිපති ඡන්දයක් ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. නියමිත කාලයට කලින් ජනාධිපති ඡන්දයක් තියනවා නම් ඒක තීන්දු කරන්න පුළුවන් මට විතරයි. නියමිත කාලයට දවසකටවත් කලින් ඡන්දයක් තියන්නේ නැහැයි කියන එකත් මම කියන්නට ඕනෑ.

2015දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළා. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල හුඟක් අඩු කෙරුවා. ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයාගේ බලතල ඉතාම සීමිතයි. ඊළඟ මැතිවරණයකින් පස්සේ අලුතින් පත්වන ජනාධිපතිවරයාට තිබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය පමණයි. ඒ හැරෙන්න දැන් තිබෙන බලතලත් නැහැ. මීළඟ මැතිවරණයකින් පසුව රටේ ප්‍රධාන තනතුර වෙන්නේ ජනාධිපති ධුරය නෙවෙයි. අගමැති ධුරය. ඒ නිසා දේශපාලන වශයෙන් මේ රටේ ජනතාවගේ සාකච්ඡාව සහ සංවාදය විය යුත්තේ ඊළඟ ජනාධිපතිවරයා කවුද කියන එක නොවෙයි. ඊළඟ අගමැතිවරයා කවුද කියන එකයි.

RSL

Related Posts