ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?

Spread the love

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී පැවසීය.

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා පැවැති උත්සවය අමතා අජිත් පී. පෙරේරා මෙසේද කීවේය.

මේ දිනවල දේශපාලන කරළියට පැමිණ තිබෙන භාරකාර ආණ්ඩුවක් හැදිය යුතු යැයි යෝජනා කරන්නෙ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා වැනි අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා ඒක පාරද වූ පසු ආණ්ඩුවෙන් එළියට පයින් ගහලා පන්නපු අයයි.

ආණ්ඩුව ඇතුළෙ ඉඳල, තමන් දරපු තනතුරුවලින් කිසිවක් නොකර ආණ්ඩුවෙ ගමනට හරස් කපල දැන් නන්නත්තාර වුණාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න හදනවා. මේ අයට වෙන යන්න, කරන්න දෙයක් නැති නිසා කාගෙ හරි ඇඟේ එල්ලිලා ගොඩ යන්න පුළුවන්ද බලනවා.

මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙනවා. අගමැතිතුමාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංගය වෙලාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 123 දෙනකුගේ සහාය ලැබුණා. ඒ මන්ත්‍රිවරු පිරිස අදටත් අපේ ආණ්ඩුවට සහාය දක්වනවා. සමහරු ඇතුළෙ ඉඳල තව සමහරු පිට ඉඳල මේ සහය දෙනවා.

සමහර අය හිතාගෙන ඉන්නෙ තවම 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි කියලයි. ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලාවට ආණ්ඩුව විසුරුවන්න තිබුණු බලය අපි අවසන් කළා. පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට හැකි අවුරුදු පහක ධුර කාලයෙන් අවුරුදු හතරකට පසුවයි. ඒක උදාවෙන්නෙ 2020 පෙබරවාරි 17 වැනිදායි. ඒකට තව කල් තිබෙනවා.

ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව ඇතුළෙ විශ්වාසභංග යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කළ යුතු වෙනවා. ඒ සඳහා මන්ත්‍රිවරු 113කගෙ සහාය ලබා ගන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කොහොමටවත් බැරි නිසා රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති කරල රාජ්‍ය සේවය තුළ අස්ථාවරභාවයක් ඇති කරල අධිකරණය තුළ බිය ගැන්වීමක් ඇති කරල ඔවුන්ට විරුද්ධව තියෙන බරපතළ අපරාධ නඩු විභාග කිරීම වළක්වා ගැනීමයිමේ වෑයමි.

කිසි ලෙසක ව්‍යවස්ථා අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. දේශපාලනමය අවකාශයකුත් නැහැ. ඒ නිසා මේ අයගේ සිහින කිසිදා සැබෑ වෙන්නෙ නැහැ. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම එතුමාගේ පාක්ෂිකයෝ අතර ජනප්‍රියයි. පවුල්වාදයට එරෙහිවීම, සභාග ආණ්ඩුවලට විරුද්ධ වීම නිසා කුමාර වෙල්ගම මහතාට අපහාස උපහාස කරමින් චෝදනා එල්ල කරනවා. කුමාර වෙල්ගම මහතාගේ දේශපාලනයට අපේ එකඟතාවක් නැහැ. නමුත් අපේ ගම්පළාතෙ ජනතා නියෝජිතයෙක්. එතුමත් නිකම් ඉන්නෙ නැහැ. උත්තර දෙනවා.

මේ දෙගොල්ල රණ්ඩු කරගන්න කොට අපිට පොඩි සතුටකුත් තියෙනවා. රණ්ඩුවෙන විට ඒ ගොල්ලන්ගෙ තත්ත්වය අපිට දැනගන්න හැකි වෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ නඩු තීන්දුව සමඟ අධිකරණය ස්වාධීන බව මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමාත් කියනවා. ඒ නිසා ජොන්ස්ටන් මන්ත්‍රිවරයාට විරුද්ධ ඉතිරි නඩු ටිකත් කඩිනමින් විභාග කළ යුතුයි. අපි ආරම්භ කර තිබෙන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ අනෙක් අයගේත් නඩු සියල්ල විභාග කළ යුතුයි. අලුත් හොරුන්ටයි පරණ හොරුන්ටයි දෙගොල්ලන්ටම විරුද්ධව තිබෙන නඩු කඩිනමින් විභාග කර නිවැරැදිකරුවන් නම් නිදහස් කිරීමත් වැරැදිකරුවන් නම් දඬුවම් කිරීමත් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා.

අපේ ආණ්ඩුව ආවට පස්සේත් හොරකම් කළ කීප දෙනකු ඉන්නවා. ඒ අයට විරුද්ධවත් ඉක්මනින් නඩු විභාග කරල නියමිත දඬුවම් ලබාදිය යුතුයි. එහෙම කළාම අපේ ආණ්ඩුවේ ගෞරවය වැඩි වෙනවා. රටේ පුරවැසියන්ගේ අපේක්ෂා ඉටුවෙනවා. මහින්ද රාජපක්ෂ මහතාත් රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිගන්න වෙලාවෙ අපි සියලු දෙනා එකතු වෙලා මේ සියලු නඩු කඩිනම් කර අධිකරණයෙන් තීන්දු ලබා ගත යුතුයි. රටේ ජනතාවගේ අපේක්ෂාව එයයි.

උපුටනය: මව්බිම

RSL

Related Posts