දුමින්දගේ බලාපොරොත්තු සුන්වෙයි! මරණ දඬුවම යළි තහවුරු කරයි

Spread the love

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ අභියාචනා නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරමින් ඔහුට ලබාදී තිබූ මරණ දඬුවම යළි තහවුරු කළේය.

මෙම නඩුවේ චෝදනා ලබා සිටි දුමින්ද සිල්වාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා වන අනුර තුෂාර ද මැල් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඒ අනුව විත්තිකාර දුමින්ද සිල්වා, චමින්ද රවී ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවන්ගෙ අභියාචනා නිෂ්ප්‍රභා කිරීමට විනිසුරුවරු තීරණය කළේය.

අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේරා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2011 වසරේ ඔක්තෝබර් මස 08 වන මුල්ලේරියාව ප්‍රදේශයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් 2015 වසරේ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබීය.

කොළඹ මහාධිකරණය හමුවේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය වන බව තීන්දු කළේය.

එසේ මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේ ජානක ප්‍රියන්ත ගලගොඩ නමැති විත්තිකරු අතුරුදන්ව සිටියේය.

තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා,චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, අනුර තුෂාර ද මැල් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණි

RSL

Related Posts