NGO කල්ලියේ නඩුවට විශේෂඥ වෛද්‍ය පාදෙනිය උසාවි යයි (Video)

Spread the love

මෑතකදී ප්‍රකාශයට පත් කළ සයිටම් නඩු තීන්දුව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයක්‌ මගින් උසාවියට අපහාසයක්‌ හා හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ සිදුකර ඇති බවට සභාපතිවරයාට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවකට තමා නිවැරදිකරු යෑයි ඔහු ඊයේ (22 දා) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

අනතුරුව අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව චෝදනාව පිළිබඳව ලබන අගෝස්‌තු 02 දා විභාගයක්‌ පැවැත්වීම අභියාචනාධිකරණය තීරණය කළේය. එම චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් පාදෙනිය මහතාට නොතීසි නිකුත් කර තිබූ අතර ඒ අනුව ඔහු ඊයේ උසාවිය හමුවේ පෙනී සිටියේය.

විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාව ඊයේ ඔහු ඉදිරියේ කියෑවීමෙන් අනතුරුව ඊට වැරදි කරුද නැද්ද යෑයි විමසන ලදුව නිවැරදිකරු යනුවෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.

එම චෝදනාවේ පිටපතක්‌a ඔහුටත් ඔහුගේ නීතිඥවරුන්ටත් ලබා දෙන ලදී.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා උසාවියට අපහාසයක්‌ කර ඇති බවට චෝදනා කර තිබුණේ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන යැ’යි කියා ගන්නා මහාචාර්ය සරත් විඡේසූරිය සහ ආචාර්ය ගාමිණී වියන්ගොඩ යන අය විසිනි.

ඉකුත් අප්‍රේල් 07 දා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකින් පසුව පැවැත්වූ මහජන රැලියකදී වෛද්‍ය පාදෙනිය මහතා කළ කතාවකදී හිතාමතාම ද්වේශ සහගතව සයිටම් නඩුව අභියාචනාධිකරණය විසින් විභාග කළ ආකාරයත්, එම නඩු තීන්දුවත් නිර්දය ලෙස විවේචනයට හා හාස්‍යයට ලක්‌ කිරීම ඔහුට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවයි.

ඔහු එදින කළැයි කියන කතාවේ සම්පූර්ණ පිටපතක්‌ ද මහාචාර්ය විඡේසූරිය හා ආචාර්ය වියන්ගොඩ යන මහත්වරුන් විසින් උසාවියට ගොනු කළ පෙත්සම සමඟ අමුණා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

රෝහිණී වල්ගම සහ ඊ. තුරෙයි රාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටි අතර පෙත්සම්කරුවන් දෙදෙනා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයට නීතිමය ප්‍රශ්නයක්‌ මතු කරමින් ඔහු විරුද්ධත්වය පළ කළේය. වෛද්‍ය පාදෙනිය මහතා උසාවියට අපහාසයක්‌ කරන ඇතැයි සෑහිමකට පත්වන බවට අභියාචනාධිකරණය පූර්ව නිගමනයකට පැමිණ ඊට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කර ලෙසත් එවැනි ප්‍රකාශ යළි කිරීමෙන් වළකින ලෙසත් දන්වා ඔහුට අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කර ඇති බවත් ඉකුත් දිනයේ අභියාචනාධිකරණය දුන් එකී නියෝගයවල සඳහන් වී ඇති බවත් ජනාධිපති නීතිඥ මාරපන මහතා පෙන්වා දුන්නේය.

එම තත්ත්වය මත විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතාට එරෙහිව නඩු විභාගයක්‌ පැවැත්වීමට අභියාචනාධිකරණයට බලයක්‌ නැතැයිද ඔහු කීය.

ඊට ප්‍රතිචාර දක්‌වමින් විනිසුරු මඬුල්ලේ සභාපති වල්ගම මහත්මිය සඳහන් කළේ වෛද්‍ය පාදෙනිය මහතාට එරෙහිව චෝදනා විභාග කිරීමට පෙර විරෝධතා ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරයාට අවස්‌ථාවක්‌ ලබා දෙන බවයි.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

[youtube -qll4wa1G5c]

RSL

Related Posts