වෛද්‍ය වර්ජනයෙන් රෝහල් ලෙඩ වෙයි

Spread the love

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්‌දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය.

බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි සිදු කෙරිණි.

වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කෙරෙන බවට පූර්ව දැනුම් දීමක්‌ කර තිබියදීත් රෝගීන් ප්‍රතිකාර අපේක්‌ෂාවෙන් රෝහල් වෙත පැමිණ සිටින අයුරු දක්‌නට ලැබුණු අතර, ඔවුහු දැඩි අසීරුතාවට පත්ව සිටින අයුරුද දිස්‌ විය.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ බාහිර රෝගී අංශය පාළු ස්‌වභාවයක්‌ ගෙන තිබුණි. වෙනත් දිනවල වැඩවර්ජන පැවතියද බාහිර රෝගී අංශයට විශාල පිරිසක්‌ පැමිණ සිටිනු දක්‌නට ලැබුණද ඊයේ ප්‍රතිකාර සඳහා පැමිණ සිටියේ ඉතාම අල්ප පිරිසකි. ඔවුන් බොහෝ දෙනාද පැමිණ සිටියේ ලේ හා මුත්‍රා පරීක්‌ෂණ කටයුතු සඳහාය. වර්ජනය පිළිබඳව රෝගීන් දැනුවත් වී සිටීම නිසා මෙසේ පැමිණීම අඩු වී ඇතැයි එහි සේවකයෝ පැවසූහ. රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු සඳහා වෛද්‍යවරුන් පැමිණ සිටියද එම අංශයේද වෙනත් දිනවලට සාපේක්‌ෂව රෝගීන්aගේ අඩුවක්‌ දක්‌නට ලැබුණි.

එසේම දියතලාව මූලික රෝහලේ සියලුම වෛද්‍යවරුන් ඊයේ (22 දා) වැඩ වර්ජනයක නිරත වූ අතර, වෛද්‍යවරුන්ගේ වර්ජනය නිසා රෝගී ජනතාව දැඩි අසීරුතාවට පත් වූහ.

වර්ජනය නිසා දියතලාව මූලික රෝහලේ සියලු සායනවල කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබූ අතර, බාහිර රෝගී අංශයේ කිසිදු වෛද්‍යවරයකු නොමැති වීම නිසා බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කටයුතුද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.

වෛද්‍යවරුන්ගේ වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හරවා යෑවීමට අනෙකුත් නිලධාරීන් විසින් කටයුතු යොදා තිබුණි.

මෙම හේතුව නිසා ඊයේ දියතලාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ආපසු පිටව යැමට සිදු විය.

අම්පාර මහ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්‌ ඊයේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් විවිධ රෝග සහ සායන සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අපහසුතාවට පත්ව සිටින අයුරු අප කළ සංචාරයකදී දැක ගැනීමට හැකි විය.

කායික රෝග සඳහා සායනයට රෝගීන් 200 ක වැඩි පිරිසක්‌ ලියාපදිංචි කර සිටියත් එම අංශයේ වෛද්‍යවරුන් සේවයට වාර්තා නොකළ නිසා රෝගීන්ට ආපසු හැරී යැමට සිදු වූ බව රජගම රෝගියකු වූ කුමාරි මහත්මිය කියා සිටියාය.

එසේම මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහල ඇතුළු දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටි සියලුම රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල හා සායනවල ප්‍රතිකාර කටයුතු ඊයේ සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.

නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා හදිසි ප්‍රතිකාර සේවාවන් වෙනදා මෙන් සිදුකෙරිණි.

මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ වෛද්‍යවරුන් අසූහත් දෙනකු වර්ජනයට එක්‌ව සිටින බව පැවසූ රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්. ඇම්. ඩී. රත්නායක මහතා බාහිර අංශයේ රෝගීන්ට හා සායනවලට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම පමණක්‌ ඇනහිට ඇති බව සඳහන් කළේය.

දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටි වැල්ලවාය, බිබිල සහ සියඹලාණ්‌ඩුව යන මූලික රෝහල්වලද කතරගම, තණමල්විල, බුත්තල, ඉඟිනියාගල, බඩල්කුඹුර, මැදගම යන දිසා රෝහල්වලද, පිටකුඹුර, දඹගල්ල, ඔක්‌කම්පිටිය, හිඟුරුකඩුව, ඇතිමලේ, හඳපානාගල, සෙවනගල, හම්බේගමුව යන ප්‍රාදේශීය රෝහල්වලද සියලුම මධ්‍යම බෙහෙත් ශාලාවලද වෛද්‍යවරුන් වැඩ වර්ජනයට එක්‌ව සිටීම නිසා බාහිර රෝගී අංශවල හා සායන අංශවල ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.

-දිවයින-

RSL

Related Posts