චීන නගරයක් මැද්දේ සමාන්තර විශ්වයක් මතුවෙයි?

Spread the love

china

ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ හත්වැනිදා චීනයේ ෆෝෂාන් නගරට ඉහළින් අහසේ වළාකුළු මත මහා නගරයක් මතුවෙන හැටි දහස්ගණනක් දෙනා ඇස්දෙකෙන් දැක්කා. ඒ අහසේ පාවෙන නගරය විනාඩි කිහිපයයි තිබුණේ. ඊටපස්සේ අතුරුදහන්වුණා. එයින් දවස් කිහිපයකට පස්සේ ජියෑංෂී පළාතෙනුත් ඊට සමාන සිද්ධියක් වාර්තාවුණා. අහසේ වළාකුළු මත පාවෙන මහා නගරයක්. මේ අද්භූත අහසෙ පාවෙන නගර ගැන ලෝකේ පුරාම මාධ්‍ය ආයතන වාර්තා කළා. මේ නම් සමාන්තර විශ්වයන් පවතින බව තහවුරු කරන්න ලැබුණ ඉතා වටිනා අවස්ථාවක් කියලා සමහරක් අය මත පළ කළා.

ඇත්තටම ඒක සමාන්තර විශ්වයන්ගේ පැවැත්ම පිළීබඳ සාක්‍ෂියක්ද?

china 2

න්‍යායාත්මකව සමාන්තර විශ්ව කියන්නේ ඒවාටම විශේෂ තනි තනි යථාර්ථයන් පවතින අපට නිරීක්‍ෂණය කළ නොහැකි මානවල පවතින විශ්වයන් වලට. උදාහරණයක් හැටියට අප ජීවත්වෙමින් සිටින විශ්වයේදී ඔබ දැන් මේ ලිපිය කියවමින් හිටියට වෙනත් මානයක පවතින වෙනත් විශ්වයක ඔබම වෙලාව පරක්කුවෙලා ඇහැරපු ගමන් ඉන්නවා. තවත් විශ්වයක හිට්ලර් ජයග්‍රහණය කරලා ලෝකයේම නාසිවාදය පැතිරිලා තියෙනවා. තවත් විශ්වයක මාංශ භක්‍ෂක ඩයිනෝසරයන් රැළක් දැවැන්ත ශාක භක්ෂකයෙකුව ගොදුරු කරගනිමින් ඉන්නවා. මේ සියල්ල එකවර සිදුවෙමින් තිබෙනවා. විද්‍යා ප්‍රබන්ධ ලෝකයට මේ උපකල්පනය හොඳට ම හුරුයි. මායාබන්ධන වගේ ටෙලිකතා බලලා බලලා කටපාඩම් වෙලා ඉන්න ලංකාවේ අපට මේ කතාව කොහෙත්ම අමුතු දෙයක් නෙවෙයි. නමුත් මේවා විය හැකිද?

පාරසාමාන්‍ය සිද්ධි පිළිබඳ ගවේෂකයෙකු වන ජෝන් ඔස්ටින් පවසන්නේ චීනයෙන් මතුවුණු මේ පාවෙන නගර අනුකල්ප යථාර්ථයන් පිළිබඳ ඇති න්‍යායන් ඔප්පු කරවන්න ඇති උචිතම අවස්ථාවක් කියලයි.

2014 වසරේදී ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිධාලයේ මහාචාර්ය හොවාර්ඩ් ග්‍රිෆිත් නව මතයක් ඉදිරිපත් කළා. එයට අනුව අ‍ප ජීවත්වන විශ්වයට සමාන විශ්වයන් පවතිනවා පමණක් නොවෙයි, ක්වොන්ටම් තල වලදී ඒවා එකිනෙක හා සම්බන්ධ වනවා වෙන්නත් පුළුවන්.

අන්තර් ක්‍රියාකාරී ලෝක පිළිබඳ ඇති න්‍යායන්ට අනුව අප අත්දකින විශ්වය සමකාලිකව ක්‍රියාකාරී වන විශ්වයන් රැසකගෙන් එකක්. එයත් අනෙක් ඒවාත් සාමන ආවකාශ කාලයක ඉඩ අත්පත් කරගෙන සිටිනවා. එක මත එක ක්‍රියාකාරීවනවා. ඉතින් හිටි හැටියේ මතුවූ මේ පාවෙන නගර සමාන්තර ලෝකයන්හි පවතින ඒවා විය නොහැකිද?

ඔය අතර කාළගුණ විද්‍යාඥයන් මේ වළාකුළු මත නගර මතුවීම පැහැදිලි කරන්න ඉදිරිපත් කරන්න වුණා. ඔවුන් පවසන්නේ මෙය “ෆේටා මෝගානා” නැමති සංසිද්ධිය බවයි. ෆේටා මෝගානා යනු දෘෂ්ටි මායා වර්ගයක්. එය අප බොහෝ විට අත්දැක ඇති “මිරිඟුව” ක ක්‍රියාකාරීත්වයට සමානයි. මෙය ඈතක පවතින කිසියම් වස්තුවක් වායුගෝලීය ක්‍රියාකාරීත්වක් නිසා වෙනත් තැනකට ප්‍රක්ෂේපනය වී පෙනීමක්.

ඒක හරියටම මෙහෙමයි. කිසියම් භූමියක ප්‍රදීපාගාරයක් තිබෙනවා. එතන වාතය සිසිල්. ඊට ඉහළින් ඇති වායු ස්ථරය උණුසුම්. එය පහත ඇති ප්‍රදීපාගාරයේ ඡායාවක් මවනවා. විවිධ ගණත්වයන්ගෙන් යුතු වායු ස්ථර හරහා ගමන් කරන ආලෝකය වර්ථනය වන නිසා ප්‍රදීපාගාරය අහසේ පාවෙනවා වගේ පෙනෙනන්න පුළුවන්. අතීතයේ සිට සේලරුවන් දකින “ෆ්ලයිං ඩච්මන්” නැමති ක්‍ෂිතිජයට ඉහළින් පාවෙන මායාකාරී නෞකාවත් මෙවැනි සංසිද්ධියක ප්‍රතිඵලයක් කියලයි කියන්නේ. මේ විදිහට පරිසර තත්ත්ව ඊට ගැළපෙනවානම් මුලුමහත් නගරයක් වුණත් අහසේ පාවෙනවා වාගේ පෙනෙනන්න බැරිකමක් නැහැ.

කාළගුණ විද්‍යාඥයන් ගෙනහැර දක්වන කරුණු කාරණා එසේ වුණත්, ෆේටා මෝගානා වර්ගයේ මිරිඟු ගොඩබිමක ඇතිවීම අතිශය දුර්ලභයි. ෆෝෂාන් නගරය පිහිටා ඇත්තේ මුහුදෙන් කිලෝමීටර තිහක් තරම් ඈතිනුයි. එවැනි පිහිටීමක් සාමාන්‍ය වශයෙන් ෆේටා මෝගානාවක් ඇතිකරන තත්ත්වයක් නොවෙයි. එහෙමනම් පාවෙන නගරය මිරිඟුවක් නොවෙයිද? සමාන්තර විශ්වයක මතුවීමක්ම ද?

china 3

භෞතික විද්‍යාවේ ප්‍රධාන වශයෙන් බහුවිධ විශ්ව වර්ග තුනක් විස්තර කෙරෙනවා. ඉන් පළමුවැනි ප්‍රභේදය “බුබුලු විශ්ව” නම් වර්ගයයි. විශ්වයේ කොටස් අපට නොපෙනන මානවල පවතිනවා. ඇතැම් විට කළු කුහර තුළ විය හැකියි. දෙවැනි ප්‍රභේදය “පටල විශ්ව” නැමති වර්ගයයි. එයට අනුව අපේ විශ්වය බොහෝ ත්‍රිමාණ ස්ථර වලින් සමන්විතයි. හරියට පොතක ඇති බොහෝ පිටු වාගේයි. මේ ස්ථර අතර වෙනත් විශ්වයන්ට අයත් ස්ථර ද එක්ව පැවතිය හැකියි. තුන්වැනි ප්‍රභේදය “බොහෝ ලෝක” වර්ගයයි. එහිදී අප ජීවත්වන කාල තලය සහ යථාව වෙනස් වෙනස් සම්භාවිතාවන් මත වෙනස් වෙනස්ව නමුත් සමාන්තරව ගලායනවා. ඔබ දැන් මේ විශ්වයේදී අපේ ලිපියට අදාල මෙම ලින්කුව ක්ලික් කලා. කියවීම නොකියවීමෙන් කියවීම තීරණය කළා. ඒ නිසා මෙම අවස්ථාවේදී ඔබ දැනගන්නවා අපේ ලින්කුව ක්ලික් නොකළ ඔබ මේ වෙලාවේම වෙනත් විශ්වයක වැදගත් යමක් සොයමින් ෆේස්බුක් පිටුවේ පහළට ඉබාගාතේ යමින් සිටින බව. එවැනි සම්භාවිතා බෙදීයාම් ප්‍රමාණය ගිණිය නොහැකිවාක් මෙන්ම ඔබත් අපත් සිටින එක් දශමයකියන් වෙනස් සමාන්තර විශ්ව ගණනත් ගිණිය නොහැකියි.

එනමුත් බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ පෝල් ඩේවිස් සහ ඇමෙරිකානු විද්‍යාඥ මාර්ටින් ගාඩ්නර් වැනි අයගේ මතයට අනුව සමාන්තර විශ්ව පිලිබඳ කතාව අභූත කතාවක්. ඒ, ඒවායේ පැවැත්ම තහවුරු කළ හැකි භෞතික සාක්‍ෂියක් නොමැති නිසයි. ඔවුන් කියනා හැටිය විශ්වයන් එකකට වඩා ගැන හිතන්නට යාම අපේ යථාවට අනවශ්‍ය සංකීර්ණ කටයුත්තක්.

සමාන්තර විශ්ව පිළිබඳ සංකල්පය රසායනාගාර පරීක්‍ෂාවන්ට ලක්කරන්න බැහැ. ඒ නිසා එය විද්‍යාවේ දෙයක් නොවෙයි. එය දර්ශනවාදයේ දෙයක්. සමාන්තර විශ්ව පිලිබඳ සුබවාදී මතයක සිටින දකුණු අප්‍රිකාණු විශ්වවේදී ජෝර්ජ් එලීස් එසේ කියා සිටිනවා.

කොහොම වුනත් 2015 අවුරුද්දේ දී විද්‍යාඥයන් පිරිසක් පරීක්‍ෂණ ඇරඹුවා ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති ලොව විශාලතම අණු ඝට්ටකය තුළ, සමාන්තර විශ්වවල පැවැත්ම පිළිබඳ හෝඩුවාවන් සෙවීම සඳහා. ඇතැම් විට එහි විද්‍යාඥයෝ මෙතෙක් ලොවට හෙළි නොකළ කාරණා බොහෝ තිබෙනවා වන්නට පිළිවන්. එහි පර්යේෂණ වල යෙදෙන විද්‍යාඥයන්ට අනුව ගුරුත්වය වෙනස් වෙනස් මාන අතර කාන්දුවනවා. එය සත්‍ය නම් එහි යන්ත්‍රාගාර තුළ ක්‍ෂුද්‍ර ප්‍රමාණයේ කළු කුහරයක් නිර්මාණය කිරීමට වුවත් හැකියාව පැවතිය යුතුයි. කවදාහෝ එහි සොයාගන්නා දත්ත සමාන්තර විශ්ව වල පැවැත්ම තහවුරු කර පෙන්වීමට සමත්වනු ඇති බවට අපට බොහෝදුරට සිතන්න පිළිවන්.

නමුත් අප දන්නා මානයට වඩා එපිටින් තව බොහෝ දෑ ඇති බව මිනිස් චින්තන විශ්වය තුළ විශ්වාස කරන බොහෝ අයට චීනයෙන් මතුවූ වළාකුළු මත පාවෙන නගර, සමාන්තර විශ්වයන් වල පැවැත්ම හෙළිකරන ඇස් පනාපිට මැවුණු සාක්‍ෂියක්ම මිස අන් කිසිවක් නොවෙයි.

අඛිල රන්සිරි මලලගේ

RSL

Related Posts