මහ බැංකු අධිපතිට එවූ විගණන වාර්තා 8 ක්‌ නි. අධිපති සමරසිරි නොසලකා හැරලා

Spread the love

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා වෙත රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එවන ලද විගණන වාර්තා 08 ක්‌ 2017 ජනවාරි 17 දින අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස්‌ දෙමින් මහ බැංකු අධිපතිවරයා විසින් නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරි මහතා වෙත යවා ඇතැයි ද, ඒවා ඔහු විසින් මහ බැංකුවේ ප්‍රයෝජනයට නොගෙන මේ දක්‌වාම ඔහු සන්තකයේ රඳවා තබාගෙන සිටින බවද මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (17) බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ හෙළි කළේය.

මේවා අතර 2008 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්‌වා වන විගණන වාර්තා සහ ඒවාට අදාළ සාරාංශ විගණන වාර්තාවක්‌ තිබෙන බව ද මේවා එම වර්ෂවලට අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු ගනුදෙනුවලට අදාළව සිදුකළ විගණනයන් බව ද ආචාර්ය වීරසිංහ මහතා කොමිසමට කීවේය.

මේ විගණන වාර්තා අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔහු විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පවා යොමුකර නොමැති බවත්, ඉන් විගණන වාර්තා කීපයක්‌ පසුගියදා සමරසිරි මහතාගේ නීතිඥයා විසින් බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය.

එසේම සමරසිරි මහතාගේ නීතිඥයා කොමිසමට ඉදිරිපත් කළ විගණන වාර්තා හැරෙන්නට අනෙකුත් සියලුම විගණන වාර්තා තවමත් නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඔහු සන්තකයේ රඳවාගෙන සිටින බව ද ආචාර්ය වීරසිංහ මහතා කොමිසම හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ මෙම වාර්තා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මහ බැංකු අධිපති ආචාර්ය ඉJද්‍රජිත් කුමාරස්‌වාමි මහතාට යොමුකර ඇති අතර එය මහ බැංකු අධිපතිවරයා 2017 ජනවාරි 17 දින අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් උපදෙස්‌ සටහනක්‌ ද සහිතව නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා වෙත යවා තිබෙන බව ද වීරසිංහ මහතා කීවේය.

තමා එම විගණකාධිපති වාර්තා පළමුවෙන් ම දුටුවේ නියෝජය අධිපති පී. සමරසිරි මහතාගේ නීතිඥයා ඒවා මේ බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර තමාගෙන් ප්‍රශ්න කරන අවස්‌ථාවේදී බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

මෙහිදී පී. සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා කීවේ එම විගණන වාර්තා පිළියෙළ කර ඇත්තේ මුදල් ඇමැතිවරයා විසින් රජයේ විගණකාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක්‌ මත බවයි.

එම විගණන වාර්තා සමරසිරි මහතා තමා සන්තකයේ රඳවා ගෙන සිටින බව රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක පොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ද කොමිසමට කියා සිටියේය.

පී. සමරසිරි මහතා ඒවා තමා සන්තකයේ රඳවාගෙන සිටිමින් ඔහුගේ සාක්‍ෂි ලබාදීමේ කටයුත්ත සඳහා යොදා ගෙන ඇතැයි ද මහ බැංකුවට ලැබුණු එම විගණණ වාර්තා පිටපත් ඔහුගේ නීතිඥයා මගින් කොමිසමට යොමුකර ඇති බවද ආචාර්ය වීරසිංහ මහතා කීය.

ඉකුත් මැයි 03 වැනිදා මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්‌වාමි මහතා විසින්a එම විගණකාධිපති වාර්තාවලට සිදුවූයේ කුමක්‌ දැයි රාජ්‍ය ණය අධිකාරිවරයාගෙන් විමසූ විට ඔහුට 2017 ජනවාරි 17 දින සිට ඒ දක්‌වාම එම වාර්තා යොමු කර නොතිබුණු බව හෙළි වූ බව ද ආචාර්ය වීරසිංහ මහතා වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් කීවේය.

-දිවයින-

RSL

Related Posts