මහජන අත්සන් ලක්ෂ 79ක පෙත්සම ප්‍රදර්ශනයට

Spread the love

අත්සන් 79 ලක්ෂයක් අඩංගු කිලෝමීටර් හතරහමාරක් (4 1/2)ක් දිග පෙත්සමක් පේරාදෙණිය ගලහ මාර්ගයේ වාරියගල ප්‍රදේශයේදී මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. වාරියගල ප්‍රදේශයේ පදිංචි යු.ජී. සුගත් නැමති 31 හැවිරිදි අයෙකු වසර හතයි මාස නවයක් තිස්සේ ලංකාව පුරා යමින් ලබාගත් අත්සන් ලේඛනයක් මෙසේ ප්‍රදර්ශනයට යොමු කර තිබුණි.

සියලුම ආගමික ශාස්තෘවරුන්ගේ රුව හා සලකුණු පත්තර කඩදාසි ඇතුළු වෙළෙඳ භාණ්ඩවල මුද්‍රණය කිරීමෙන් එම ආගම්වලටත් එහි ශාස්තෘවරුන්ටත් සිදුවන අගෞරවය නතර කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා සුගත් විසින් මේ අත්සන් ලබාගෙන ඇත.

මෙයට අමතරව බුදුරුව මෙවැනි දෑ වලට යොදා ගැනීමෙන් සිදුවන අගෞරවය පිළිබඳ මහානාහිමිවරු ඇතුළු විහාරාධිපතීන් වහන්සේලා දැනුවත් කොට මේ වැඩපිළිවෙළට සහය වශයෙන් විහාරස්ථාන දසදහස් එකසියකින් (10100) ලබාගත් ලිපි ලේඛන මොහු විසින් වාරියපොල බෝධිය අසළ ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණි.

මොහු පවසන්නේ ආපන ශාලාවල බුදුරුව සහිත පත්තර දඩදාසි අත පිසීමට තබා ඇති බවත් මෙවැනි පත්තර වලින් මස්, මාළු ඔතන බවත් බිම වැටී පෑගෙන බවත් ඒ තුළින් මහත් ‍අගෞරවයක් සිදුවන බවත්ය.

ආගමික ශාස්තෘවරුන් සහිත සාරි, ගවුම්, කලිසම් ආදිය හා වෙළෙඳ භාණ්ඩ පවා ඇතත් ඒවා වැළැක්වීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව පවසන සුගත් මෙම අත්සන් සහිත පෙත්සම මෙරටේ මහානායක නාහිමිවරු හා ජනාධිපති අගමැති ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන් වෙත යොමු කර මේවා වැළැක්වීමට කටයුතු කරන ලෙස ඉල්ලීමටද සූදානම්ව සිටී.

-දිනමිණ-

RSL

Related Posts