ජනපති අතින් මහවැලි ගොවි පවුල් 10,000කට හිමිකම් ඔප්පු

Spread the love

මහවැලි ජනපදිකයින් අතර ඉඩම් ඔප්පු 100,000ක් බෙදා දීමේ ජාතික වැඩසටහනෙහි තවත් එක් පියවරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මැයි 15 වැනිදා පොලොන්නරුව, අරලගංවිල විලයාය මහා විද්‍යාලයේදී සිදු කෙරිණි.

එහිදී මහවැලි බී හා සී කලාපලවල ගොවි පවුල් 10,000කට ඔවුන් පදිංචිව සිටින රජයේ ඉඩම්වලට සින්නක්කර හිමිකම් ඔප්පු ලබා දීම සිදු විය.

ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

එම අවස්ථාවට එක් වූ ඇමති දයා ගමගේ කියා සිටියේ, මහවැලි නිලධාරීන්ගේ සහාය ද ලබාගෙන මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

ඩී.එස්. සේනානායකගේ ගල්ඔය ව්‍යාපාරය හා ගාමිණී දිසානායකගේ මහවැලි ව්‍යාපාරය හරහා බිහි කළ ජනපද ඒවායේ පදිංචිකරුවන්ගේ කැපවීම හේතුවෙන් දියුණුවට පත් වූ බව පැවසූ ඔහු, ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසින් රටට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් සියයට 40ක් නිෂ්පාදනය කිරීමට පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කවලට හැකි වූ බව පැවසීය.

කොරියානු තාක්ෂණය ඔවුන්ට හඳුන්වා දී වී අස්වැන්න ඉහළ නංවා, ලබන වසර වන විට සහල් අපනයනය කිරීමේ හැකියාව ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඇමතිවරයා කලාපයේ ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා දියත් කළ මොරගහ කන්ද ව්‍යාපාරයෙන් තවත් හෙක්ටාර 350,000 බිම් ප්‍රමාණයක් කෘෂිකර්මය සඳහා එකතු වන බව ගමගේ මහතා පැවසීය.

හිමිකම් ඔප්පු ලැබූ පවුල් අතර ජේසීටී අඹ, ගම්මිරිස් හා කුරුඳු පැල බෙදා දීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

RSL

Related Posts