හිම කඳු අතර සැඟවෙන අබිරහස් මෘග මිනිසා

Spread the love

Yetee

ඒ වෙද්දී ලැප්කා දෝමා හට වයස අවුරුදු දහහතරයි. නේපාලයේ සීතල හිම කඳු අතර මචර්මෝ නිම්නයේ දිවි ගෙවූ ඈ සුපුරුදු පරිදි සිය පවුලේ දායාදය වන යැක් ගව පට්ටිය දක්කාගෙන නිම්නය කරා ඇදුණා. ගවයින් උලා කමින් සිටියදී ඈ දිය පහර අසල ගිමන් හැරියා. හිටිහැටියේම කිසිවෙක් හෝ කිසිවක් තමන්දෙස බලාසිටිතැයි යන හැඟීමෙන් මඩනා ලද ඈ හැරී බැලුවා. පුරාකථා සහ භයානක සිහින වලින් පමණක් දැනසිටි ඒ දැවැන්ත අඳුරු පැහැ ලොමින් ගැවසුණු මෘග රූපය ඈ පසුපස සිටගෙන සිටියා.

අමානුෂික ශක්තියකින් යුතු ලොමින් පිරි බාහුවක් ඈ අල්වා ප්‍රචණ්ඩ ලෙස දිය පහර දෙසට විසිකර දැමූබව පමණයි ඇයට මතක.

යළි සිහි එද්දී පට්ටියේ සිටි ශක්තිමත් යැක් ගවයින් පසළොස්දෙනාම තැන තැන මැරී වැටී සිටියා. වෙනත් තුවාල රහිතව මරා දමනු ලැබ සිටි ඔවුන්ගේ අතුනුබහන් සහිත මාංශය අභ්‍යන්තරයේ සිටම කා දමා තිබුණා. තමන්ගේ හිස අතගා බලත්තීදියි ලැප්කා ට දැනුණේ, සිය හිසකෙස් වලින් කොටසක් උගුළුවා දමා ඇතිබව! ඇගේ සෙහොයුරා ඇතුළු ගම් වැසියන් පසුව කළ සොයා බැලීම් වලදී, දැවැන්ත දෙපා සත්ත්වයෙකුගේ අඩි සලකුණු මළ ගවයන් අසල බිම සටහන්වී තිබුණා.

බාහිර ලොකයේ අපට “යෙටී” යන්න මිථ්‍යාවක් හෝ අභිරහසක් හෝ නිකන්ම නිකන් විකාර කතාවක් හෝ වුවත්, හිමාලය පාමුල අභිරහස් වලින් ගැවසුණු ශීත බිම්වල මිනිසුන්ට “යෙටී” යනු ගෞරවසම්ප්‍රයුක්ත පුරාතන භීතියක්.

ලැප්කා දහ හතරහැවිරිදි වියෙහිදී යෙටී ගේ පහරදීමට ලක්වූයේ 1974 වසරේදීයි. ඒ ලොමුදැහැගන්වන කතාවට සාක්‍සිදරමින් ලැප්කා තවමත් ජීවත්ව සිටිනවා. නමුත් ඒ කතාව කියනා වාරයක් පාසා තවමත් ඈ භීතියෙන් කම්පනයට පත්වනවා.

යෙටී හෙවත් අභිරහස් හිම මිනිසා ගැන පුරාකථාව හිමාල අඩවිය ආසන්න ජනතාවගේ ප්‍රාග් බෞද්ධ ඇදහීම් වලින් එකක්. හිම ප්‍රවාහයන්හි භූතාත්මයක් වන දඩයම අධිගෘහිත දේවතාවා ලෙස ඔවුන් අප යෙටී නමින් දන්නා සංකල්පයට වන්දනාමාන කරනවා.

යෙටී යන වචනය ටිබෙටියානු භාෂාවෙන් බිඳී ආ එකක්. එහි දළ අර්ථය “පර්වත බිමෙහි වසන වලස් මිනිසා” වැන්නක්. හිමාලයානු ප්‍රදේශ වල වාසය කරන නේපාල වැසියන් “හිමමානව්“ හෙවත් කඳුකර මිනිසා යන වචනය යෙටීට දී තිබෙනවා. බටහිර ලෝකය යෙටී යන්න අරුත්ගන්වා ඇත්තේ “අශික්ෂිත හිම මිනිසා” යනුවෙනුයි.

හිමාලයානු වැසියන්ගේ පුරාවෘත්තයක්ව තිබූ යෙටී, බටහිර ලෝකයේ ජනප්‍රිය අභිරහස් කතා අතරට ඒම ඇරඹුණේ දහ නවවන සියවස තරම් ඈත කාලයකයි. සිය ස්වදේශීය සේවකයන් දෙපයින් ඇවිදයන, ඉතා උස, ලොමින් වැසුණු සත්ත්වයෙකු දැක බියපත්ව ඇති බව, පුරෝගාමී ස්වභාව විද්‍යාඥයෙක් වූ බ්‍රයන් ඩොජ්සන් 1832 වසරේ දී සිය වාර්තා වල සඳහන් කර තිබෙනවා.

එතැන් පටන්, බරටහිර රටවල ගවේෂකයන්, කඳු නගින්නන් ලොමින් වැසුණු අද්භූත වානරයෙකු වැනි සත්ත්වයෙකු දුටු බවට සහ, දැවැන්ත දෙපා සතෙකුගේ පියසටහන් දුටුබවට වන වාර්තා බොහොමයක් පවතිනවා.

1970 වසරේ දී බ්‍රිතාන්‍ය කඳුනගින්නෙකු වූ ඩොන් විලන්ස් හිමාල කඳුවැටියේ අන්නාපූර්ණා ශිඛරය තරණය කරමින් සිටියා. හිටි හැටියේම ඇසුණේ ලොමු දැහැගන්වන සුළු බිහිසුණු කෑගැසීමක්. “ඒ හිම මිනිහා!” බියපත් වූ ස්වදේශික සේවකයෝ කීවා. එදිනම සන්ධ්‍යාවේ සිය කඳවුර අවට නිරීක්‍ෂණය කරමින් සිටි ඔහුට ඈත හිම මුදුනක ලොම් සහිත රුවක් ඔබ මොබ යනු දක්නට ලැබුණා. පසුදා උදෑසන ඔවුන්ගේ කඳවුර වටා යෙටී ගේ පා සටහන් වැටී තිබුණා.

ඉතා මෑත 2011 වසරේදී රුසියානුවන් පිරිසක් යෙටී ගැහැණු සතෙකුව වෙඩි තබා මරාගත් බවට පුවතක් වාර්තාවූවත් පසුව එය ගොතන ලද කතාවක් බව හෙලිවුණා.

හිම කඳු අතර සැඟවෙන අභිරහස් මෘගයා පිළිබඳ දැනට කියැවෙන තොරතුරු අනුව අපට ඔහුගේ ස්වභාවය පිළිබඳව චිත්‍රයක් මවාගතහැකියි. යෙටී අඩි 7 ක්, 9 ක් තරම් උසයි. පෙනුමෙන් මිනිසෙකුටත්, මහා වානරයෙකුටත් සමානයි. මුළු ශරීරයම අළු පැහැ ලොම් වලින් වැසී තිබෙනවා මුහුණ හැර. විටෙක ඔහු දෙපාවලින් ගමන් කරාවි. විටෙක පා හතරෙන්ම ඇවිද යාවි. යෙටියෙකුගේ එක් ප්‍රචණ්ඩ මුෂ්ටි ප්‍රහාරයකට ශක්තිමත් යැක් ගවයෙකු හට එතැනම මරු කැඳවන්නට හැකියි.

යෙටී පිළිබඳව ඇති ප්‍රමුඛතම භෞතික සාධකය නේපාලයේ කුම්යුං බෞද්ධ ආරාමය සතුව තිබෙනවා. ඒ යෙටියෙකුගේ ශීර්ෂ කොටසක්. මේ හිස්කබල මිනිස් හිස්කබලකට බඩා වෙනස්. එය වඩාත් උල් හැඩයකින් යුක්තයි. අඳුරු පැහැ ශීර්ෂය මත සිට පහළ දක්වාම කළු – දුඹුරු පැහැ කේශ වැවී තිබෙනවා. එහි වැසියන්ට යෙටී ශීර්ෂය පූජනීය පුරාවස්තුවක්. වාර්ෂික පූජෝත්සවයකදී කෙනෙක් යෙටී ශීර්ෂය පැළඳ රඟදක්වනවා. එය අන්ධකාර බලවේග පලවා හැර සෞභාග්‍යයේ උදාව සංකේතවත් කරන ආශීර්වාදාත්මක යාතුකර්මයක්.

එවරස්ට් ශිඛරය සාර්ථකව තරණය කළ පළමුවැන්නා වූ ශ්‍රීමත් එඩ්මන් හිලරි මේ යෙටී හිස්කබල බ්‍රිතාන්‍යයට ගෙන ගොස් පරීක්‍ෂණයට ලක්කළා. එහිදී හෙළිවූයේ එය කඳුකර එළු වර්ගයකගේ සමකින් සකස්කරනා ලද එකක් බවයි! ලෝකය ඩී.එන්.ඒ තාක්‍ෂණයෙන් දියුණුවී ඇති වර්තමානයේ යෙටී හිස්කබල යළි පරීක්‍ෂාවට ලක්කිරීමට බොහෝ පර්යේෂකයන් කැමැත්ත පළකර සිටියත් කුම්යුං විහාරයේ එහි භාරකාර භික්‍ෂූන් වහන්සේලා සිට පුරාවස්තුව යළි පරික්‍ෂාවට භාජනය කිරීමට අවසර දෙමින් නැහැ.

yetee 2ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරිගේ පරීක්‍ෂණයේ ප්‍රතිඵල කෙසේවෙතත්, ඔහු යෙටී පිළිබඳ අත්දැකීම් වලට කොහෙත්ම ආගන්තුකයෙකු නොවෙයි. සිය චාරිකාවේදී දැවැන්ත සත්ත්වයෙකුගේ පියසටහන් දක්නට ලැබුණු බව එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගායි දෙදෙනා සඳහන් කරනවා. සිය පියා දෙවරක්ම යෙටියෙකුව සියැසින් දැක ඇති බව ටෙන්සිං නෝර්ගායි සිය ශ්වයං චරිතාපදානයේ සඳහන් කරනවා.

යෙටී ගැන අභිරහස මිථ්‍යා පුරාකථාවක් පමණක් ලෙස ගෙන විද්‍යාවේ මානයෙන් බැහැර කිරීමට සත්ත්ව විද්‍යාඥයන් පටු මානයකට එළැඹෙමින් නැහැ. වඳවී ගොස් ඇතැයි සිතූ, නොපවතින්නේ යැයි සිතූ සත්ත්ව විශේෂ ගණනාවක් කතන්දර වල මානයේ සිට යථාවට පැමිණ තිබෙනවා. මේ වෙත්දී යෙටී ගැන හැදෑරීම් පවතින්නේ ක්‍රිප්ටොසූලොජි හෙවත් ගුප්ත සත්ත්ව විද්‍යාව යන විෂය ක්‍ෂේත්‍රය ආශ්‍රය කොටගෙනයි. යෙටී නමින් දන්නා අභිරහස් සත්ත්වයාට සමාන සත්ත්ව විශේෂයක් මිහිමත විසූ බවට තොරතුරු වාර්තා වන්නේ මෙයට වසර මිලියන නවයක් තරම් ඈතකාලයකයි. ඒ ජයිගැන්ටොපිතකස් නම් දැවැන්ත වානර වර්ගයයි. ඔවුන් චීනය, ඉන්දියාව සහ වියෙට්නාමය ආශ්‍රිත ප්‍රදේශ සිය නිජබිම් කොටගෙන වාසය කර තිබෙනවා. ජයිගැන්ටෝපිතකස් අද විස්තරකෙරෙන යෙටී ගේ පෙනුමට බොහෝසෙයින් සමානයි. නමුත් ජයිගැන්ටොපිතකස් නම් ඒ මහා වානර විශේෂය දේශගුණික විපර්යාසයන්ට මුහුණදීගත නොහී, මෙයට වසර ලක්‍ෂයකට පෙර සහමුලින්ම මිහිමතින් වඳවගියා.

කරුණු කාරණා කෙසේ වෙතත්, බොහෝ කොටසක් තවමත් මිනිස් ඇස් බැල්ම, මිනිස් පා පහස නොලද ශීත හිමාල ගිරි ශිඛර කෙතරම් දේවල් සමූහයක් මිනිස් පහසේ විනාශයෙන් සඟවා ගෙන සිටන්නේ දැයි කවුරුනම් දනිත්ද?

යෙටී සැබෑවක්ය යන්න කෙතරම් කාවැදුනු විශ්වාසයක්ද කියතොත් පනහේ දශකයේදී ඇමෙරිකා එක්සත් ජනපද රජය යෙටී සොයා ගවේෂණයේ යෙදෙන සිය පුරවැසියන් හට නීති මාලාවක් පැනවූවා. ඒ අනුව යෙටී සොයා යාම සඳහා නේපාල රජයෙන් නිල අනුමැතියක් ලබාගත යුතුයි. ආත්මාරක්‍ෂාව සඳහා මිස වෙනත් කිසිඳු හේතුවක් නිසා යෙටියෙකුට කිසිඳු හානියක් කළ නොහැකියි. යෙටියෙක් සොයාගතහොත් ඒ පිළිබඳව වාර්තා කිරීමට පෙර නේපාල රජයේ පූර්ණ අනුමැතිය ලබාගතයුතුයි.

රුසියානු විද්‍යාඥයන් පෙන්වා දෙන කරුණු අනුව යෙටී යනුවෙන්, නොදන්නා අභිරහස් සත්ත්ව කොට්ඨාශයක් නැති බවට වඩා 95% ක්ම සාධක ඇත්තේ එවැනි සත්ත්ව කොටසක් අප නොදැන අප මිහිමත ජීවත් වන බවටයි. අද පවා යෙටී හැබැහින් හමුනොවෙතත්, යෙටී ගැන සොයන සියලු ගවේෂණ අවසන් වන්නේ, අභිරහස් හිම මිනිසා හිමාලයේ ඈත හිම කඳු අතර මෙම මොහොතේත් දඩයමක් ලුහුබඳින් සිටිය හැකි බවට වන මිනිස් විශ්වාසය තව තවත් සරු කරවමිනුයි.

අඛිල රන්සිරි මලලගේ

RSL

Related Posts