පසුගාමී චින්තනයෙන් තොර අලුත් මිනිසකු බිහිකරමු..!

Spread the love

පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත්‍ර වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

සූර්යය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්‍රමුඛ කියැවීම වන්නේ මිහිතලය මත ජීවයේ සම්භවය සිදු වූ අතීතයේ ඈත යුගයන් දක්වා දිවයන මිනිසාත් සොබාදහමත් අතර පවතින්නා වූ භෞතික සහ ආධ්‍යාත්මික ගනුදෙනුවක අපූර්ව සබැඳියාවය.

එදා මෙදාතුර මිනිසාගේ කෘතවේදී ගුණය පිළිබඳව සජීවී නිදර්ශකයක් බවට පත්වන අවුරුදු චාරිත්‍ර පෙර පැවැති මහා කෘෂි ජීවන සම්ප්‍රදාය නවීකරණය වෙමින් පවතින අද දවසේ වුවද සක්‍රීයව ජන විඥානය තුළ ස්පන්දනය වනුයේ අප තුළ ජීවත්වන සංස්කෘතික ආධ්‍යාත්මයේ ප්‍රබලත්වය විදහා දක්වමිනි.

සමස්ත අවුරුදු චාරිත්‍ර පද්ධතියේ සමුදයාර්ථය වන්නේ තම පැවැත්ම සවිබල ගැන්වූ පරිසරයට මිනිසා විසින් පෙරළා දක්වන කෘතවේදීත්වය සේම ඔහුත් අවශේෂ සමාජයත් අතර පවත්නා සමීප සබැඳියාව යාවත්කාලීන කිරීමය.

අවුරුදු ලිත ඒ සඳහා ඔහුට යම් කාලසටහනක් ලබාදීමෙන් මිනිසාගේ කාල කළමනාකරණයට ද අවුරුදු නැකැත්කරු ප්‍රමුඛත්වය ලබා දී තිබේ.

එසේම නැකතට කෙරෙන ගනුදෙනු සමඟ ප්‍රතිපත්ති ගරුකවීමේ අගය අවුරුදු සිරිතේ නින්නාද දෙන ගැඹුරු හර පද්ධතිය බවට පත්ව්නනේ යමක් ලබාගන්නා සේම පෙරළා පිරිනැමීම ද අප සංස්කෘතියේ උදාර ගති ලක්ෂණයක් බවට අවධාරණය කරමිනි.

සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ, පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමය.

අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජීවිතවලට නව සමාරම්භයක් වන්නේ අප එලෙස අලුත් වීම තුළය.

දිනාගත් ජයග්‍රහණ වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත්ව නැඟී සිටින රටක් ලෙස, එළැඹි අලුත් අවුරුද්දේ පෙළගැසෙමුය යන්න අපේ අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත්කර ගනිමු.

එතෙර මෙතෙර වෙසෙන සමස්ත ශ්‍රී ලාංකිකයනට සෞභ්‍යාගමත්, සාමය සතුට පිරිවැරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!

RSL

Related Posts