අධිචෝදනාවලින් ඥානසාර හිමි නිදොස් කොට නිදහස්

Spread the love

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කොට ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (30) විවෘත අධිකරණය හමුවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේය.

2008 වසරේදී තලංගම තලාහේන අරලිය උයන ප‍්‍රදේශයේ පිහිටි කල්වාරි ආගමික ස්ථානයකට බලහත්කාරයෙන් කඩාවැදී එහි දේපළවලට අලාභහානි කිරීම, රුපියල් 65,000 ක් වටිනා රන් මාල දෙකක් සොරකම් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් සියලූ දෙනා අධිචෝදනාවලින් නිදොස්කොට තිබුණි.

2014.04.02 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය විසින් නිකුත් කළ එකී නියෝගයකට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කළ අතර අභියාචනාව නීතිපතිවරයා විසින්ම 2018.11.23 වැනිදා ඉල්ලා අස්කර ගෙන තිබුණි. ඒ අනුව එකී පෙත්සම ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම තීන්දුව කොළඹ මහාධිකරණය හමුවේදී ප‍්‍රකාශයට පත්කරන ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කොට තිබුණි.

RSL

Related Posts