2019 ලෝක ශූරතා ක්‍රිකට් සංග්‍රාමය ඇරඹෙයි (වීඩියෝ)

Spread the love

ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.

එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු වන පැඩී මැක්ගිනස් සමාරම්භක උත්සවය මෙහෙයවූ අතර ආරම්භයේදීම ඔවුහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් දහයේ නායකයන් වේදිකාවකට කැඳවූහ.

සත්කාරක එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් සහ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි වේදිකාවට ගොඩවෙද්දී නරඹන්නෝ ප්‍රීතිඝෝෂා කළහ. එංගලන්ත ගායක ජෝන් නිව්මන් ‘ෆීල් ද ලව්‘ ගීතය ගයමින් ලෝක කුසලාන සමාරම්භක උළෙල වර්ණවත් කිරීමෙන් පසුව ලෝක කුසලාන තරගමාලා සමාරම්භක ඉතිහාසයේ මෙතෙක් නොලැබූ අත්දැකීමක් විඳ ගැනීමට නරඹන්නන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද අවස්ථාව උදාවිය.

තත්පර හැටේ අභියෝගයක් නමින් හඳුන්වනු ලැබූ මේ තරගයට එක්වූ සෑම කණ්ඩායමකටම ආරාධිත අමුත්තන් දෙදෙනකු එක්වීම කැපී පෙනුණි. ඉන්දීය පිලේ හිටපු නායක අනිල් කුම්බ්ලේ සහ බොලිවුඩ් නළු ෆර්හාන් අක්තාර් ඉන්දීය පිල නියෝජනය කළ අතර මේ අසිරිමත් මොහොතට ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයන් වූ ශ්‍රීමත් විවියන් රිචඩ්ස්, ජාක්ස් කලීස්, බ්‍රෙට් ලී, කෙවින් පීටර්සන් ඇතුළු සුපිරි ක්‍රීඩකයන් පිරිසක් එක්වූහ.

තත්පර හැටේ අභියෝගයේ ජයග්‍රහණ්‍ය හිමිවූයේ තත්පර හැටකින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායමටය. ඔස්ට්‍රේලියාවේ හිටපු පිතිකරු ඩේවිඩ් බූන් විසින් මේ මනරම් තරගයේ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.

තත්පර හැටේ අරුම පුදුම තරගයේ පළමුව ඇෆ්ගනිස්තානය ලකුණු 52ක් රැස් කළ අතර මහේල ජයවර්ධන සහ හිටපු මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා තරග වැදුණු ශ්‍රී ලංකා පිල ලකුණු 43ක් රැස් කළේය. ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සහ සුපිරි ධාවන ශූර යොහාන් බ්ලෙක් කොදෙව් පිලට ලකුණු 47ක් ගෙන දුන්හ.

සති හයක් පුරා දිවෙන මෙවර ලෝක කුසලානයේ සමස්ත තරග 48 කින් පසුව 2019 ශූරයන් තෝරන අතර පළමු වටයේ සෑම කණ්ඩායමක්ම තරග නවයකට සහභාගි වේ. අනතුරුව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග වරම ලබන අතර එම තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් සටනට පිවිසෙයි.

1992 ලෝක කුසලාන පැවැති ආකෘතියට සමාන ආකෘතියකින් මෙවර ලෝක කුසලාන තරග සටහන සකස් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබීමෙන්, වඩාත්ම උද්වේගකර ලෝක කුසලාන තරගාවලිය මෙය බවට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති. 

ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්

  රට        ප‍්‍ර.ලකුණු

1. එංගලන්තය 125

 2. ඉන්දියාව 121

 3. ද.අප‍්‍රිකාව 115

 4. නවසීලන්තය 113

 5. ඔස්ටේ‍්‍රලියාව 109

 6. පාකිස්තානය 94

 7. බංග්ලාදේශය 90

 8. බ.ඉ.කොදෙව් 77

 9. ශ‍්‍රී ලංකාව 76

 10. ඇෆ්ගනිස්තානය 63

RSL

Related Posts