ඇමති වජිර හොරුන්ගේ රෙදි අපුල්ලන්න ගොස් හත්පොලේ ගාගනී (Video)

Spread the love

vajira-abeyguwardanaස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආයතන සංග්‍රහය හෝ පොලිස් ආඥාපනත පිළිබඳ කිසිත් නොදන්නා බව ප්‍රකට කරමින් ඊයේ (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් ලබාදීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ රාජ්‍ය නිලධාරින් පාලනය කරන්නේ පොලිස් ආඥාපනත නොව ආයතන සංග්‍රහය බවයි.

අමාත්‍යවරයා අනූෂ පැල්පිට මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පවසන්නේ පැල්පිට මහතාට අදාළ චෝදනා ගොනු කර ඔහු වැරදි කරුවෙකු කරන තුරු ඔහු වැරදි කරුවෙකු නොවන බවත් එම කාළය තුළ ඔහුගේ රාජකාරි නිසියාකාරව සිදුකරගෙන යාමට බාධාවක් නොමැති බවත්ය.

අනුෂ පැල්පිට මහතා රුපියල් මිලියන 600ක බරපතල මුල්‍ය වංචාවකට සම්බන්ධව මහ ධිකරණයේ විභාගවන නඩුවක චුදිතයෙකුව සිටියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඔහුට එරෙහිව විනයානුකූල පියවර නොගැනීම පිළිබඳ රාජ්‍ය සේවයේ සහ නීති ක්ෂේත්‍රයේ සංවාදයක් මතුව ඇත.

ආයතන සංග්‍රහයේ 27 ඡේදයේ 07 වන වගන්තියේ එවැනි වරදකට චෝදනා ලැබූ රාජ්‍ය නිලධාරියෙකුට ගතයුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳ දැක්වෙන්නේ මෙසේය. “රජයේ නිලධරයකුට විරුද්ධව අධිකරණ කටයුතු ආරම්භ කිරීමේ එක් පියවරක් වශයෙන් අදාළ නිලධරයා පොලිස් හෝ වෙනත් ව්‍යවස්ථාපිත බලධරයකු හෝ විසින් අත් අඩංගුවට ගෙන ඇති අවස්ථාවක දී හෝ අධිකරණය ඉදිරියේ නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට පෙර රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති අවස්ථාවක දී හෝ එම නිලධරයාට එම කාලය ආවරණය වන පරිදි අනිවාර්ය නිවාඩු ලබාදිය යුත්තේය.” ආයතන සංග්‍රහයේ මෙම වගන්තිය සංශෝධනය කිරීමට මෙම දුෂිත නිලධාරින් මේ වනවිට කුමන්ත්‍රණයක නිරත බවද වාර්තා වේ.

මේ අනුව පෙනීයන්නේ වජිර අබේවර්ධන ඇමතිවරයා පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ බරපතල වංචාවලට සම්බන්ධ ඉහළ රාජ්‍ය නිලධාරින් රැකීමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටින බවයි.

ඇවන්ගාඩ් වංචාව සම්බන්ධව චෝදනා ලැබූ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියටද වජිර අබේවර්ධන ඇමතිවරයා විසින් සිය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරියක් ලෙස පත්වීම් ලබාදෙන ලදී. ඇයට එරෙහිව අල්ලස් කොමිසම සහ රහස් පොලිසිය විමර්ශන සිදු කරන අතර අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. ඇය ඇවන්ගාඩ් ආයතනයෙන් මාසිකව රුපියල් ලක්ෂ 05ක් වැටුප් ලෙස ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී හෙළිවී ඇත. එම සියලු චෝදානා තිබියදී ඇයට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගත් අතර පසුව ඇය රහසේම රටින් පලා ගියාය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙලෙස බරපතල මුල්‍ය වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ නිලධාරින් ගණනාවකට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් නොගෙන ඔවුන්ට ඉහළ තනතුරු දරමින් තවදුරටත් කටයුතු කිරීමට ඉඩ දීම අනුව පෙනී යන්නේ යහපාලනය පිළිබඳ වත්මන් ආණ්ඩුවේ සැබෑ අභිලාෂය සහ භාවිතය බව දුෂණ විරෝධී සංවිධාන පෙන්වා දෙති.

-ලංකා ටෲත්-

RSL

Related Posts