G7 සමුළුව ආරාධනයක ආඩම්බරය

Spread the love

ජී-7 සමුළුව සඳහා අප රටේ ජනාධිපතිතුමා ලද ආරාධනය හේතුවෙන් ආසියානු කලාපය ප්‍රධාන ලෝකයේ සෑම රටක් ම ශ්‍රී ලංකාව දෙසට දැඩි අවධානයක් නිසැකයෙන්ම යොමු කරනු ඇත. විශේෂයෙන්ම ආසියාවේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස ජපානය තුළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට ලැබුණු ඉහළ පිළිගැනීම ගැන විදෙස් මාධ්‍යයන්හි දැඩි උනන්දුවක් ඇති වී ඇත.

ලෝකයේ මහා කාර්මික බලවතුන් ලෙස පිළිගන්නා රටවල් හතක් එකට එක්වෙමින් පවත්වනු ලබන ජී-7 සමුළුව මේ වනවිට ජපානයේ ඉසෙ ෂිමා හි දී පැවැත්වේ. මෙම සමුළුව මෙවර මුළුදෙන ජපානයේ ඉසෙ ෂිමා නගරයද ලොව ඉහළම සංචාරක ආකර්ෂණය දිනාගන්නා නගරයකි. මේ හේතුව නිසා ඇතැමුන් මෙය නිවාඩු නිකේතන නගරය ලෙස ද හඳුන්වයි. වසර හතළිස් දෙකකට අධික ඉතිහාසයකට උරුමකම් කියන ජී – 7 සමුළුවේ සාමාජිකත්වය දරනු ලබන එකම ආසියාතික බලවතා ජපානයයි. මෙවර මෙම සමුළුවේ සත්කාරකත්වය ජපානයට හිමිව ඇත්තේ පස්වැනි වතාවට ය. මින් පෙර සිවුවතාවක් ජී – 7 සමුළුව ජපානයේදී පවත්වා ඇත. ඒ අනුව ලොව බලවත්ම රාජ්‍ය නායකයන් හත්දෙනා ආසියානු බිමේදී එකට හමුවනුයේ වසර අටකට පසුවයි.

වසර අටකට පසුව ආසියානු බිමෙහි පැවැත්වෙන ජී – 7 සමුළුව ශ්‍රී ලාංකිකයන් වන අපට ද සුවිශේෂි වෙයි. මෙවර ජී-7 සමුළුව වසර හතළිස් ගණනක ඉතිහාසය පුරාවට කිසිදිනක නොවූතරම් බලපෑමක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිකිරීමට හේතු වී ඇත. ලෝක ජනගහනයෙන් සියයට එකොළහක් (11%) පමණ මෙම රටවල් හත නියෝජනය කරනු ලැබුව ද ලෝක ආර්ථිකයේ සියයට හැටහතරක (64%) තරම් ප්‍රමාණයකට පංගුකාරයන් වී සිටින්නේ මේ රටවල් හතයි.

බලවතුන්ගේ තීරණ

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය හා කැනඩාව යන මේ කාර්මික බලවතුන් ලෝක ආර්ථිකයේ විශාල පංගුකාරයන් වීම නිසා මෙවර ජී-7 සමුළුවේදී ඔවුන් ගන්නා තීන්දු තීරණ සමස්ත ලෝකයටම බලපෑමක් කරන්නට සමත්වනු ඇත. මෙවර සමුළුවේදී නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ආරක්ෂාව, ගෝලීය සෞඛ්‍ය හා කාන්තා සවිබලගැන්වීම යන තේමා ප්‍රධාන ලෙස සාකච්ඡාවට බඳුන්වනු ඇත. ඊට අමතරව දෙවන පෙළ තේමා ලෙස නීතියේ අධිපත්‍යය, මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ගෝලීය ආර්ථිකය හා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බලවතුන් සංවාදයේ යෙදෙනු ඇත.

ජී-7 සමුළුවේ සාමාජිකත්වය නොමැති රටකට ඔවුන්ගේ සමුළුව හා සංවාදයේ යෙදෙන්නට අවස්ථාවක් ලැබීම ඉතා විරල මෙන්ම වටිනා අවස්ථාවක් ලෙස ලෝකයම පිළිගනී. එවන් විරල වූ වටිනා වූ අවස්ථාවක් අප වැනි රටකට හිමිවීම අප රට ලැබූ භාග්‍යයක් මෙන්ම ජයග්‍රහණයකි. ඒ අනුව මෙවර ජී-7 රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජපාන අගමැති ෂින්සෝ අබේ මැතිතුමා ආරාධනා කර ඇත. මෙවර ජී-7 සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව හැරුණුකොට එවැනි ආරාධනයක් ලද රට වන්නේ වියට්නාමයයි. දකුණු ආසියාවෙන්ම මෙම ආරාධනය ලැබී ඇත‍්තේ අපේ රටට ය. මෙවර මෙම රාජ්‍ය නායක සමුළුව මුළුදෙන්නේ ආසියාතික බිමෙහිම ජපානයේ බැවින් අප රටට මෙම අවස්ථාව හිමිවූ බව ඇතමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් සාමාජික නොවන රටවලට සමුළුව හා සංවාදයේ යෙදෙන්නට අවස්ථාව ලබාදෙනු ලබන්නේ පොදු නිර්ණායක කිහිපයක් පදනම් කරගෙන ය.

පොදු නිරීක්ෂණයක

ඔවුන් ඒ සඳහා යොදාගනු ලබන පොදු නිර්ණායක අතර අදාළ රටේ රාජ්‍ය නායකයාට ජාත්‍යන්තරව විශාල පිළිගැනීමක් තිබීම, ඔහු තමන්ගේ රට තුළ යහපත් දේශපාලන ක්‍රම පිළිගෙන ක්‍රියාත්මක කරනු ලබන අයෙකු වීම, දූෂණයට එරෙහිව ඍජුවම පෙනී සිටින කෙනෙකු වීම, මිනිස් අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට කථාවට පමණක් සීමානොකොට ක්‍රියාත්මක වන අයකු වීම, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ලබන අයකු වීම යන මූලික කරුණු පදනම් වේ.

මෙම ආරාධනය ජපානයේ අගමැතිතුමන්ගේ පමණක් තීරණයක් නොවන බවත් කිව යුතු ය. ජී-7 සමුළුව සඳහා සාමාජිකයන් ‍නොවන රටවල් නියෝජනය සඳහා ඇරැයුම් කරනු ලබන රාජ්‍ය නායකයන් කවුරුන්ද යන්න පිළිබඳ අනෙකුත් සාමාජික රටවල් 06ටම දැනුම් දිය යුතුවේ. එහිදී එම රටවලට සහභාගි වන රාජ්‍ය නායකයන් පිළිබඳ විරුද්ධ වීමට ද අභියෝගයක් ඇත. මේ සියලු කාරණා පදනම් කරගෙන ලැබුණු මේ ආරාධනය තුළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක බලවතුන් හමුවේ ඇති පිළිගැනීම වඩාත් පැහැදිලි කර ගත හැක.

ශ්‍රී ලංකාවට හිමි තැන

2015 ජනවාරි මස 08 වැනිදාට පෙර තිබූ තත්ත්වය මත මෙවැනි ඇරයුමක් අප රටට ලැබේ යැයි සිහිනයකින්වත් සිතිය නොහැක. විශේෂයෙන්ම ජාත්‍යන්තරයෙන් කොන්වී ඉවතට විසිවී සිටි අප රටට හිමිව තිබූ අයහපත් වූ ප්‍රතිරූපය උඩු යටිකුරු කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව සිදු කර ඇත්තේ සුවිශේෂි කැපවීමකි. පිරිහුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ විදහා දැක්වූ මෙන්ම, දූෂණය නාස්තිය, ඉහවහා ගිය, නීතියේ ආධිපත්‍යය ගැන ජනතා විශ්වාසය බිඳී ගිය රටක් මාස 18ක් තුළ අත්කරගෙන ඇති ප්‍රථිඵල දෙස අපේ රටේ පුරවැසියන්ටත් වඩා ජාත්‍යන්තරය සාධනීය ලෙස කරුණු තේරුම් ගෙන ඇත. මේ සියලු කරුණු පදනම් කරගෙන අපේ රට ගමන් කරන මාවත කෙරෙහි සමස්ත ලෝකවාසීන්ගේ අවධානය යොමුව තිබේ.

මෙවර ජී-7 සමුළුවේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට, අප රට තුළ ආරම්භ කර ඇති ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එකවර ලෝ‍කයේ බලවත් රාජ්‍ය 07ක රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමට ලැබෙන්නේ සුවිශේෂී අවස්ථාවකි.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් මෙම සමුළුවේදී කරනු ලබන දැනුවත් කිරීම ලෝකය වෙත ගෙනයන්නට මෙන්ම ලෝකයේම අවධානය දිනාගන්නට ජී-7 සමුළුව වේදිකාවක් වන බව ලෝක දේශපාලන විචාරකයින්ගේ මතයයි. එහිදී ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමයේ ක්‍රියාවට නංවා ඇති සංවර්ධනාත්මක වැඩසටහන් හා අත්කරගෙන ඇති ප්‍රගතිය ගැනත් ජනාධිපතිතුමන්ගේ කරුණු දැක්වීමේදී වැඩි ඉඩක් වෙන්වනු ඇත. එමෙන්ම පසුගියදා අප රටට මුහුණ දෙන්නට සිදුවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති ජනතාව නගාසිටුවීම ගැනත් මේ ප්‍රබල රාජ්‍ය නායකයන්ගේ අවධානයට යොමු කරනු ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ලෝකයේ වෙන් වෙන් වශයෙන් බලවත් රාජ්‍ය නායකයන් අතර පවත්වනු ලබන සාකච්ඡාවන්හිදී එක් එක් රටවල විශේෂ අවධානයට ‍යොමු කිරීමට අදාළ වන්නා වූ කරුණු කාරණා ගැන සාකච්ඡා කරනු ඇත.

එහිදී විශේෂයෙන් ආසියාවේ කාර්මික බලවතා ලෙස නැගී සිටින ජපානය සමඟ සිදුකරනු ලබන සාකච්ඡාවලදී අප රටට ආර්ථික වශයෙන් බලපාන ගැටලු හා ඉදිරියේදී ඒ සඳහා සහය ලබා ගැනීම විශේෂයෙන්ම නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ ශ්‍රම බළකායක් ඇති කිරීම ආදී කරුණු ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇත.

ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය වැනි රටවල රාජ්‍ය නායකයන් හා සාකච්ඡා කිරීමේදී පශ්චාත් යුද සමයේ අපරට සංහිඳියාව සඳහා යන ගමන් මග ගැනත් විශේෂයෙන් තිස් වසරක යුද්ධයෙන් පසු උතුරු, නැ‍ඟෙනහිර ජනජීවිතය නඟාසිටුවීමට රජය ගෙන ඇති පියවර සම්බන්‍ධයෙන් හා ඒ සඳහා බලපාන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන්ගේ අවධානයට යොමු කරනු ඇත. මෙහිදී මේ වනවිට ජාත්‍යන්තරය දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබීම තුළින් ද අප රටට බලපාන ගැටලු පිළිබඳ හා අප රට පිළිබඳව එම රටවල රාජ්‍ය නායකයන්ගේ අවධානය දිනා ගැනීමෙන් පසු රටේ ප්‍රතිරූපය ඉහළ යෑමක් සිදුවනු ඇත. එමෙන්ම යුරෝපා හවුලේ ප්‍රබල සාමාජිකයන් වන මෙම රටවල් සමඟ G.S.P+ සහනය ගැනත් සාකච්ඡා කරන්නට මෙය අවස්ථාවක් කර ගනු ඇත.

අභියෝග ජය ගැනීමේ මාවත

විශේෂයෙන් අප රටේ ඍජු ආයෝජක අවස්ථා පිළිබඳ ලෝක බලවතුන්ගේ අවධානය තවතවත් යොමුකර ගැනීමට හැකියාව ඇත. ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරියේදී රටක් ලෙස අප රටට මුහුණදීමට ඇති අභියෝග ගැනත් එතුමා ජී – 7 ලෝක නායකයන් දැනුවත් කරනු ඇත.

මෙවැනි විවිධ අංශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමෙන් හා සංවාදයේ යෙදීමෙන් දැනට අප රට කෙරෙහි ජාත්‍යන්තරය තබා ඇති සුබවාදී ආකල්ප තවත් ශක්තිමත් කර ගැනීමට මෙම සමුළුව ඉමහත් පිටිවහලක් වනු ඇත.

කවුරු කෙසේ කරුණු දැක්වුව ද තවමත් ලෝක ආර්ථිකයේ හා දේශපාලන කරළියේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරනුයේ ජී – 7 කණ්ඩායමේ රාජ්‍ය නායකයන් විසින් බව නොරහසකි. ආර්ථික හා දේශපාලනික ලෙස ලොව ප්‍රමුඛ භූමිකාවක් ගොඩනගනු ලබන රාජ්‍ය නායකයන් සමඟ සංවාදයේ යෙදෙන්නට හා කරුණු දක්වන්නට ලද අවස්ථාව කාරණා කිහිපයක් නිසා සුවිශේෂි වනු ඇත.

එසේ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ජී – 7 සමුළුවට ආරාධනා ලැබූ ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා වීම නිසා ය. එමෙන්ම රටක් ලෙස අප සැම මෙම සමුළුව නියෝජනය කරනු ලබන ප්‍රථම අවස්ථාව ද මෙයයි. අප රටේ දැනට ක්‍රියාත්මක ආණ්ඩුව ගොඩනඟා ඇත්තේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක යහපාලන ප්‍රතිපත්ති මත එකඟතාවයකට පැමිණීමෙනි. ප්‍රධාන දේශපාලන දහරා දෙකක් එක්ව මෙවැනි ශක්තිමත් ආණ්ඩුවක් අප රටේ පිහිටවූ පළමු අවස්ථාව මෙයයි.

මෙවන් වටපිටාවක් තුළ ජී-7 සමුළුව සඳහා අප රටේ ජනාධිපතිතුමා ලද ආරාධනය හේතුවෙන් ආසියානු කලාපය ප්‍රධාන ලෝකයේ සෑම රටක් ම ශ්‍රී ලංකාව දෙසට දැඩි අවධානයක් නිසැකයෙන්ම යොමු කරනු ඇත. විශේෂයෙන්ම ආසියාවේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස ජපානය තුළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට ලැබුණු ඉහළ පිළිගැනීම ගැන විදෙස් මාධ්‍යයන්හි දැඩි උනන්දුවක් ඇතිවී ඇත.

නිදහසින් පසු අප රටේ රාජ්‍ය නායකයන් කොතෙකුත් විදෙස් සමුළු හා සම්මන්ත්‍රණයන්ට සහභාගිවී ඇත. එම විදේශ චාරිකා සම්බන්ධව අනුගමනය කර ඇති ප්‍රතිපත්තීන් ද නායකයාගෙන් නායකයාට වෙනස් වූ අයුරු දක්නට ඇත.

විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමාගේ සරල ගතිපැවතුම් රටාව දෙස ද ලෝක ප්‍රජාවගේ වැඩි අවධානයක් නිතැතින්ම යොමු වේ. සංචාරය සඳහා යොදාගන්නා ගුවන් යානයේ සිට නවාතැන් ගනු ලබන හෝටල් කාමරය දක්වාත්, මෙම සමුළුව සඳහා සහභාගී වන දූත පිරිස යන කරුණු කාරණා ද මෙහිදී වැදගත්වේ. අප ර‍ට වැනි දියුණුවෙමින් පවතින රටකට ‍ඔරොත්තු නොදෙන ලෙස ඇතැම් රාජ්‍ය නායකයන් කටයුතු කළ අවස්ථා ද ඕනෑතරම් ඇත. නමුත් යහපාලනය මුල්කරගෙන බලයට පැමිණි වත්මන් රජය එම නාස්තිකාර ප්‍රතිපත්තිවලින් තොරව කටයුතු කරනු දැකීම ලෝක නායකයන්ගේ පැසසුමට හේතු වූවාට කිසිදු සැකයක් නැත.

සුබ නිමිත්තක්

මෙයට පෙරත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමගින් මෙවැනි ජාත්‍යන්තර සමුළුවලට සහභාගිවී මා ලද අත්දැකීම් අනුව නිරන්තරයෙන් එතුමාගේ අරමුණ අනවශ්‍ය ආකාරයෙන් ජාතික ධනය නාස්තියෙන් තොරව විදේශ සංචාරවලට සහභාගිවෙමින් රටට අත්කර ගත හැකි උපරිම ප්‍රතිලාභ අත්කර ගැනීමයි. සාමයට සෞභාග්‍යයට හොඳම මාර්ගය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය හා මානව අයිතිවාසිකම්වල මූලික අගයන් බෙදා හදා ගැනීම අරමුණු කර ගනිමින් මෙවර පැවැත්වෙන ජී-7 රාජ්‍ය නායක සමුළුවට සාමාජික නොවන රටක් ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට ඇරැයුම් ලැබීම අප රට ජාත්‍යන්තරව හිමිකරගත් විශාල ජයග්‍රහණයකි. ජාත්‍යන්තරව අප රටට හා අප රටේ පුරවැසියන්ට හිමිවුණු කීර්තියකි. පිබිදෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ජී -7 රාජ්‍ය නායකයන්ගේ අවධානයට පාත්‍රවීම අනාගතයට සුබ පෙරනිමිත්තකි.

උපුටා ගැනීම: දිනමිණ

RSL

Related Posts