අපේක්ෂකයින් වැඩි වන තරමට රනිල්ට ජනාධිපතිවරණය ජය ගන්න පහසුයි

Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කිරීම ඉතා පහසු බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ පක්‍ෂයේ ආරංචි මාර්ගවලට අනුව වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔවුන්ගේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පාර්ශ්වයෙන් ඔහුගේ සහෝදරයකු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට තම පක්‍ෂයේ අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන සංචාරකයන් සඳහා ඊ ප්‍රවේශපත් නිකුත් කිරීමේ වෙබ් අඩවිය හඳුන්වාදීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා (14දා) කොළඹදී අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.

මීට අමතරව මෙහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සාකච්ඡාවට භාජන කිරීමෙන් අනතුරුව එහි අඩුපාඩු අධ්‍යයනය කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

කවුරුන් කුමන විවේචන එල්ල කළද නව ව්‍යවස්ථාව පිළිබඳ නොසැලකිල්ලෙන් තීන්දු තීරණ නොගන්නා බවත් රට බෙදීමට මෙයින් කිසිසේත් කටයුතු නොකරන බවත්, සියලු ජාතීන්ගේ යහපත වෙනුවෙන් මෙහි යෝජනා ඇතුළත් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වුවත් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ බලයකින් මෙය සම්මත නොවුණහොත් මේ කිසිවක් සාර්ථක නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts