එජාපයේ අටේ කල්ලිය වැඩ අරඹයි! පළමු රතු නිවේදනය නිකුත් වෙයි

Spread the love

එක්සත් ජාතික පක්ෂය සුරකිමින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ගොඩනැඟුනු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත “අටේ කල්ලිය” ඉදිරිපත් වීමට නියමිත අයවැය ඉලක්ක කරගනිමින් සිය පළමු රාජකාරිය අරඹා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ඉදිරි අය-වැයේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 8 දෙනකු තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පවසා ඇත.

මලික් සමරවික්‍රම මහතා අමාත්‍යාංශය මෙහෙයවන ආකාරය, පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉතා හොඳින් නිරීක්ෂණය කළ බවත් එම අමාත්‍යාංශයට ගොස් සිදුකරන ලද සොයා බැලීම්වලදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා, ජනතා සේවය වෙනුවෙන් අමාත්‍යාංශය කිසිදු මැදිහත්වීමක් නොකරන බව සනාථ වූ බවද එම මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදෙන සමරවික්‍රම අමාත්‍යවරයා ජනතාවගේ ගැටලු විසඳන්නේ කෙසේද කියා පසුපෙළ එජාප මන්ත්‍රිවරුන් තුළ විශාල ප්‍රශ්නයක් හටගෙන ඇති බවද එම මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පෙර පැවති ආණ්ඩුව තුළ ක්‍රියා කළ ආකාරයෙන්ම කිසිදු වගකීමක් නොමැතිව නව ආණ්ඩුව තුළද කුරුඳුවත්තේ පැලැන්තියට වුවමනා ආකාරයෙන් ක්‍රියාකරන මලික් සමරවික්‍රම මහතා වහාම සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද මෙම මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සම්බන්ධයෙන් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බවද එම මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

සමරවික්‍රම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අදාළ කුමන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද ඒ සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටීමට මෙම මන්ත්‍රිවරුන් 8 දෙනා තීරණය කළ බවද ඉහත කී මන්ත්‍රිවරයා සඳහන් කළේය.

රටේ පොදු මහජනතාවට කාර්යක්ෂම සේවයක් නොකරන අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම දැඩි අවධානයකින් පසුවන බවද ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 8 දෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් අද (01දා) සවස කොළඹදී පැවැත්වීමට නියමිත බවද එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 7 දෙනකුගෙන් ආරම්භ වූ තම කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 8 දෙනා දක්වා මේ වනවිට වැඩි වී තිබෙන බවත් තවත් පිරිස් මෙම කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබෙන බවත් එම මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

-මව්බිම ඇසුරින්-

RSL

Related Posts