තවත් මහ බැංකු බැඳුම්කර මගඩියක් හෙළිවෙයි!

Spread the love

වර්ෂ 2012 සහ 2014 අතර කාලයේදී මහාභාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීම අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකා බැංකුව හරහා රු. කෝටි 4620 ක භාණ්ඩාගාර බැඳුම්කර ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට නිකුත් කර ඇත්තේ නීතියට අනුකූලව නොවන අයුරින් බව ඊයේ (31) කොමිසම හමුවේ සාක්‍ෂි දුන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සාක්‍ෂි විභාගයේදී අනාවරණය විය.

ලංකා බැංකුව හරහා අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇත්තේ කවර නීතියකට අනුවදැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ විට තමා ඒ පිළිබඳව නොදන්නා බවත් එය ප්‍රශ්න කළ යුතු වන්නේ මහා භාණ්‌ඩාගාරයෙන් සහ එවකට සිටි මහ බැංකු නිලධාරීන්ගෙන් බවත් හෙතෙම කීවේය.

භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ වන ලියාපදිංචි ස්‌කන්ධ හා සුරැකුම්පත් ආඥපනතේ විධිවිධාන මෙහිදී අනුගමනය කර නැති බවද සාක්‍ෂිකරු පිළිගත්තේය.

මේ අනුව ලංකා බැංකුව හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතියේ අවශ්‍යතාව පරිදි මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කර නැති බවද කොමිසමේ සාක්‍ෂි විභාගයේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකර නැති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පිළිගත්තේය.

මෙම රු. කෝටි 462 මත භාණ්‌ඩාගාර බැඳුම්කර රජයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්‌ඩාගාරයේ විශේෂ ඉල්ලීම මත නිකුත් කළ ඒවා බවත් මේවා රජයේ මාසික මුදල් අවශ්‍යතාවට වැටෙන ඒවා නොවන බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

එසේ නම් අලුතින් ප්‍රාග්ධනය සැපයීම සඳහා ලංකා බැංකුව හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කළේ කවර නීතියකට අනුකූලව ද යනුවෙන් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ප්‍රාග්ධනය අලුතින් සැපයීම සඳහා මහ බැංකුව එම බැඳුම්කර නිකුත් කළේ කවර නීතියකට අනුකූලවද යන්න ප්‍රකාශ කිරීමට මහ බැංකු අධිපතිවරයා අපොහොසත් විය.

එසේම මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අත්පොතට ද අනුකූල නොවන බවද ජනාධිපති නීතිඥ උනම්බුව මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු පිළිගත්තේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලංකා බැංකුව හරහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන කරුණු පැහැදිලි කරමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා මෙසේ කොමිසමට කීවේය.

මේවා සාමාන්‍ය භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් යටතට වැටෙන්නේ නැහැ. මේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ප්‍රාග්ධනය නැවත සැපයීම සඳහායි. ඒ සඳහා කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා. එම අයවැය යෝජනාව ඇතුළත් විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ මහාභාණ්‌ඩගාරයටයි. ඒ නිසා මේ ගැන විමසිය යුතුව ඇත්තේ මහාභාණ්‌ඩාගාරයෙන් සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ගෙනුයි.

මම දින හයක්‌ තිස්‌සේ මේ කොමිසමට පැමිණියා. මේ සියල්ල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැනයි. මගේ දැනුමින් ලබාදිය හැකි දායකත්වය මම කොමිසමට ලබාදී තිබෙනවා. තවදුරටත් මේ ගැන එකම කරුණු ගැන මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම තේරුමක්‌ නැහැ. මේ විෂය ගැන මට වඩා දැනුම තිබෙන නිලධාරීන්ගෙන් කොමිසමට ප්‍රශ්න කළ හැකියි.

කොමිසමේ සාක්‍ෂි විභාගය අතරතුර මහ බැංකු ඇමැතිවරයා ප්‍රකාශ කළේ වසර 70 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ අඩුවැඩි වශයෙන් නිසි රාජ්‍ය මූල්‍ය විනයක්‌ තිබී නැති බවයි.

මේ නිසා ඉතිහාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන් 16 කට ඇතුළත් වීමට ශ්‍රී ලංකා රජයන්ට සිදුව ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

-දිවයින-

RSL

Related Posts