නවක වදය දුන් සිසුන්ට වැඩ වරදියි; දැඩි දඬුවම් නියමවෙයි

Spread the love

පේරාදෙණිය, කළුගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් එහි රැගෙන ගොස් අමානුෂික ආකාරයෙන් නවක වධය ලබා දුන් බවට අත්අඩංගුවට පත් එම පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් 15 දෙනාට එරෙහිව විශ්වවිද්‍යාලය වශයෙන් ගත හැකි ඉහළම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද ඔවුන් සම්බන්ධයෙන් කිසිදු හෝ ලිහිල් පිළිවෙතක් අනුගමනය නොකරන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය.

අත්අඩංගුවට පත් සිසු කණ්ඩායම් ඉතා දරුණු විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බැවින් බොහෝ විට වසර ගණනාවකට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තහනමක් සිදු විය හැකි බවද ඒ සම්බන්ධයෙන් මේ වන විටද සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව චතුර ලසන්ත, දර්ශන ගුණරත්න, රාජිත බස්නායක, නිරෝෂන් රාජපක්ෂ, මිහිරංග කොඩිතුවක්කු, ප්‍රිය කැලුම් ජයතිස්ස, සේදු තයිඳු, ශෂින්ද්‍ර මේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්ඩාර, කවිෂ්ක ලක්ෂාන්, උමේෂ් එරංග කුමාර, පී. හර්ෂණ හා සුරේෂ් විජේසිරි යන කෘෂි විද්‍යා පීඨ දෙවැනි වසර සිසුන් 15 දෙනා ලබන මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර වැඩබලන මහෙස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළ අතර නවක වධයට ලක්ව පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ සිසුන් 8 දෙනා ප්‍රතිකාර ලැබ පිටත්ව ගිය බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

අද (22දා) සිට ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් කිරීමට පියවර ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාල විනය පාලක මහාචාර්ය ගාමිණී හිටිනායක මහතා සඳහන් කෙළේය.

මේ පන්ති තහනම, සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වන තුරු බල පැවැත්වෙන බවද එම පරීක්ෂණ අවසන් වූ පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

RSL

Related Posts