සංචාරකයන්ගේ පැමිණීම 20%කින් ඉහළට

Spread the love

sri_lanka_toursimනැඟීඑන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය රටක් බවට පත් කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 20 කින් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ මුල් කාර්තුවේ දී එම ශීඝ්‍ර වර්ධනය පෙන්නුම්කර තිබෙන අතර පසුගිය 2015 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙරටට පැමිණි 601,055ක් වූ විදේශීය සංචාරකයන්ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හතරේ දී විදෙස් සංචාරකයන් 721,185 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. එය සියයට 20ක වර්ධනයක් ද වෙයි.

පසුගිය 2015 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේ දී විදේශීය සංචාරක පැමිණීමේ වර්ධනයක් පෙන්නුම්කර තිබෙන අතර ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී විදෙස් සංචාරකයන් 122,217 මෙරටට පැමිණ තිබේ.

ඊට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරකයන් 136,367 දෙනෙකු පැමිණ තිබෙන අතර එය සියයට 11.6ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මේ වසරේ ගත වූ සෑම මාසයකදීම පසුගිය වසරේ එම මාසයේ දී මෙරටට පැමිණී විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන අතර විදෙස් සංචාරකයන් සඳහා හිතකර පරිසරයක් පැවතීම, නිදහස් රටක් බවට පත්වීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු මට්ටමක පැවතීම, සංචාරක ආකර්ෂණීය ලෙස රට නිර්මාණය කර තිබීම සහ ස්වාභාවික සෞන්දර්යය ආදී කරුණු රැසක් හේතුවෙන් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණෙන බවද එම අධීකාරිය සදහන් කරයි.

පසුගිය 2015 වසරේ දී මෙරටට පැමිණ තිබෙන විදේශීය සංචාරකයන්ගේ සමස්ත සංඛ්‍යාව 1,798,380 ක් බවද මේ වසරේ දී එම අගය තවත් ඉහළ යනු ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළකරයි.

ඒ අනුව මේ වසරේ ගත වූ මුල්මාස හතරක කාලයේ දී බටහිර යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එය පසුගිය 2015 වර්ෂයට සාපේක්ෂව විශාල වර්ධනයක් බවද ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, ඉන්දියාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි රටවලින් කැපී පෙනෙන සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙන බවද කියාසිටී.

පැමිණෙමින් සිටින විදෙස්‌ සංචාරකයන් නැවත නැවතත් අප රටට ගෙන්වා ගනිමින් මෙම සංචාරක පැමිණීම්වල වර්ධනය අඛණ්‌ඩව රඳවා ගැනීම වෙනුවෙන් සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම ඉතාමත් වැදගත් බව පෙන්වාදෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඇති අවස්‌ථාවන් සහ එමඟින් සමස්‌ත ආර්ථිකයට ලබා ගතහැකි ප්‍රතිලාභ පිළිබඳ වටහාගෙන රජය, සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම යන කාරණය වෙනුවෙන් නොයෙකුත් පියවරයන් දියත් කරමින් සිටින බවද කියයි.

සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ප්‍රධාන උපාය මාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් තිබෙන අතර සංචාරක ආයෝජනයට ගැලපෙන පරිසරයක්‌ සැකසීම, පිබිදෙන ආර්ථිකයක්‌ සහිත නව සංචාරක වෙළෙඳපොළ (රටවල්) ආකර්ෂණය, ගුණාත්මක සංචාරක ආකර්ෂණය, ඒකාබද්ධ ප්‍රවර්ධන සිදුකිරීම, පිටත්වන සංචාරකයන්ගේ තෘප්තිමත් බව තහවුරු කිරීම, දේශීය සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරිම, සමාජයේ සියලු තලවලට සංචාරක ක්‌ෂේත්‍රයේ ප්‍රතිලාභ ලබාදීම ආදිය ඒ අතර වෙයි.

-මහින්ද අලුත්ගෙදර-

RSL

Related Posts