අද ලෝකවාසී බෞද්ධයින්ට ඓතිහාසික දිනයක් වෙයි

Spread the love

අති පාරිශුද්ධ ථෙරවාදී බුදු දහමේ සාරය තවත් වසර දහස් ගණනක් ආරක්ෂා කරමින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරන අද(05) දවසේ රාජ්‍ය ආයතන, විහාරස්ථාන හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප‍්‍රදර්ශනය කරන ලෙස රජය ඉල්ලා සිටියි.

බෞද්ධයන්ගේ ප‍්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලූවිහාරයේ දී පැවැත්වේ.

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මග පෙන්වීම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරේ.

තෙවැනි ධර්ම සංඝායනාවේ දී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථෙරවාදි ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී මහින්දාගමනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකාවට උරුම වූ අතර, මෙසේ උරුම වූ සම්බුදු දහම රාජ්‍ය ගෞරවය ලබමින් ශතවර්ෂ ගණනාවක් ශ‍්‍රී ලංකාවේ පෝෂණය වී තිබේ.

මහ රහතන්වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැකගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ පළවැනි සියිවසේ මාතලේ අලූවිහාරයේ දී බව සඳහන්ය.

එම ඓතිහාසික අවස්ථාවට පසවු වර්ෂ 1956 දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස ත්‍රිපිටකය පූර්ණ ග‍්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණු අතර ඉන් අනතුරුව එළැඹෙන ඓතිහාසික වැදගත්ම අවස්ථාව මෙයයි.

විනයගරුක මෙන්ම ඥානයෙන් පිරිපුන් ශික්ෂිත සමාජයක් සඳහා ත්‍රිපිටකයේ බලපෑම බෙහෙවින් ඉවහල් වන අතර අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේ වන විට ලෝකයේ සිදු කර ඇති ශාස්ත්‍රීය පර්යෙෂ්ණවලට අනුව මුල් බුදු දහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නකි.

මෙවන් මහඟු උරුමයක් වන ත්‍රිපිටකය සම්බන්ධයෙන් එකිනෙක කණ්ඩායම් හා පුද්ගලයන් සිදු කරනු ලබන විකෘති විවරණ හේතුවෙන් බුදු දහම අවභාවිත වීම වැළැක්වීමේ උදාරතර අරමුණින් යුතුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීමෙන් මෙම මහඟු පුණ්‍ය කර්මය සිදු කෙරේ.

මහා සංඝරත්නය දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමීව දිවයින පුරා විහාරස්ථානවල දී ආගමික වතාවත් සංවිධානය කර තිබේ.

RSL

Related Posts