උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යමයි! දෙමළ සන්ධානයේ අනෙකුත් පක්ෂත් කට අරියි

Spread the love

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විද්වත් වාර්තාව තමන් නොපිළිගන්නා බව දමිළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයක් වන සෙල්වම් අඩෙක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පක්‍ෂය පවසයි.

එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම වාර්තාව වඩාත් හොඳින් අධ්‍යයනය කර බැලීමේදී එම වාර්තා ප්‍රතික්‍ෂේප කරනවා හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

සිංහල මෙන්ම දමිළ ජනතාවත් හමුදාවත් ලක්‍ෂ ගණනක් මරණයට පත් කරමින් පැවැති යුද්ධයට හේතු වූයේ ජාතික ගැටලුවයි. එම ගැටලුවට එක් රටක් තුළ සාධාරණ නීත්‍යනුකූල විසඳුමක් ප්‍රජාතන්තවාදීව ලබා ගත හැකි බවට අපි තවමත් විශ්වාස කරමු.

ජාතික ගැටලුවට විසඳුමක් යන්න මෙතෙක් කාලයක් දමිළ ජනතාව විඳි පීඩාවන්ට තිරසර විසඳුම් ලැබෙන පරිදි විය යුතුයි. අපි මැතිවරණයේදී ඡන්දය ලබා ගත්තේ ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසඳුමක් මෙම ජාතික ගැටලුවට ලබා ගන්නා බව ප්‍රකාශ කරමින්. එම පොරොන්දුවෙන් ඉවත් වන්නට අපට බැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ වාර්තාවල ඒකීය රාජ්‍ය යන්න තවදුරටත් වඩාත් හොඳින් තහවුරු කිරීමට උත්සාහ දරා තිබෙනවා. බුද්ධාගමට නව ව්‍යවස්ථාව මඟින්ද ප්‍රමුඛස්ථානය ලබා දී තිබෙනවා. අනෙකුත් ආගම් අනාථ තත්ත්වයට පත් කොට තිබෙනවා.

බලය බෙදා හැරීම යන කාරණා සලකා බැලීමේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහි කිසිදු බලතල බෙදීමක් සිදුව නැහැ. මහවැලි අධිකාරිය හරහා තවදුරටත් සිංහල ජනතාව උතුරේ ඉඩම්වල පදිංචි කිරීම සිදුවීමට නියමිතයි. එමඟින් අපගේ නිජබිම් නිරායාසයෙන්ම සිංහල ජනපද බවට පත් වෙනවා.

විශේෂයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන වාර්තා මඟින් දමිළ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඉන්දු ලංකා ගිවිසුම හා ආයුධ සන්නද්ධ අරගලයෙන් පසු අප ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක අප පක්‍ෂය නිරත වුණා. තවදුරටත් සාධාරණ දේශපාලන විසඳුමක් වෙනුවෙන් අප පක්‍ෂය අරගල කරන බව අවධාරණය කරනවා.

RSL

Related Posts