ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි

Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන එය උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට එය පත්කළ යුතු බවත්, රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, පසුගියදා (09) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයක් ඇති බවට අද තොරතුරු අනාවරණය වෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය නම් මෙය වහාම රජයට පවරා ගත යුතුයි. පුලුවන්නම් උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් දැමිය යුතුයි. දැනට කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයක් තිබෙනවා. ඒ වගේම මෙයත් නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවත් පත්කරන්න ඕනි. එතකොට රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙනවා.

උතුරු නැගෙනහිරින් තමා රට බෙදන මතවාද සහ කණ්ඩායම් ඇති වුණේ, ආගම් වෙනම හදන්න ඕනි කිව්වේ. ෂරියා නීති ඕනා කිව්වේ. එතකොට එහෙම තත්වයක් යටතේ අපිට පුළුවන් වෙන්න ඕනි රටේ බහුතරයක් දෙනාගේ විශ්වාසය දිනාගන්න. අපි එහෙම දේවල් කරන්න ලෑස්ති නැතුව, නැහැ.. නැහැ.. මුකුත් වුණේ නැහැ..කියලා මේ වගේ විශාල වුනාට පස්සේ අපි සමඟියෙන් සහෝදරයෙන් ඉන්නවා කියලා මේ අනතුරුදායක ප්‍රශ්නයෙන් අපට පැනලා යන්න බැහැ.

පසුගියදා ජනාධිපතිතුමා කියලා තිබුණා මේක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වගේ අරගෙන රටේ නීතිය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. මේකේ තවම විශ්ව විද්‍යාලයක් නැහැ. මේකට අවසර අරගෙන තිබුණේ කොලේජ් එකක් හැටියට විතරයි. අනෙක් පැත්තට අපි සිතා බැලිය යුතුයි හිස්බුල්ලා මහත්මයා මෙහි සභාපතිවරයා වෙද්දී, ඔහු නැගෙනහිර ආණ්ඩුකාරයා වෙද්දී රටේ ජනතාව විශ්වාස කරයිද මේ නිකම්ම නිකන් හිස් ගොඩනැගිලි ටිකක් රජයට පවරාගත්තා කියලා මේ ප්‍රශ්නය විසදෙනවා කියලා විශ්වාස කරයිද..? රටේ ජනතාව එහෙම විශ්වාස කරන්නේ නැහැ.

එම නිසා මේ රටේ සිංහල-බෞද්ධ මිනිස්සුන්ගේ ඉවසීම නිවට කමක් ලෙසට පරිවර්තනය කරලා අපිට මේක රඳවා ගන්න බැහැ කියන එක කවුරුත් සිහිතබාගත යුතුයි. ඒක නිසා විශ්වාසය දිනාගත හැකි දේවල් අපි අවංකව සිදුකළ යුතුයි. එසේ නොවුනහොත් යළි තව පොඩි දෙයකින්, සුළු කරුණකින් අපි මේ බලාගෙන ඉන්න මේ ඉවසීම නැතිවෙන්න පුළුවන්. එම නිසා මේක සුළුකොට තකන්න පුළුවන් අවස්ථාවක් නොවෙයි. අපි හැමොම කල්පනා කරන්න ඕනි ඇයි මේ වෙලාවේ බහුතරයක් දෙනා විශ්වාසයක් නැතිව ජීවත්වෙන්නේ කියලා. අපි ඒ වෙනුවෙන් ස්ථිරසාර ක්‍රියාමාර්ග ගත යුතුයි.

RSL

Related Posts