සැක හිතන්න, බියවන්න අවශ්‍ය නැහැ; හමුදාව කෙරෙහි විශ්වාසය තබන්න

Spread the love

ඇතිවූ තත්ත්වය පාලනය කර ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් සැකයක් ඇති කරගත යුතු නොමැති බවත්, ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ තර්ජනය මේ වන විට පාලනය වී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.

රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කර ඇත්තේ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට සම්බන්ධ කණ්ඩායම් මර්දනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කර ඇති බවය.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සඳහා‍ අයි.එස්. සංවිධානයේ සබඳතාවක් පැවතුණ ද එම සංවිධානය විසින් ඍජුවම මෙම ප්‍රහාර මාලාව මෙහෙයවූ බව ඉන් අදහස් නොකෙරෙන බව යුද හමුදාපතිවරයා පවසා ඇත.

කෙසේවෙතත් ප්‍රහාර මාලාව හා අයි.එස්. සංවිධානයේ ඇති සම්බන්ධතාව පිළිබඳ ආරක්ෂක අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියි.

සහරාන් හෂීම් පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව මෙහෙයවූ හා ඊට අණ ලබාදුන් පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇති නමුත් සටන්කාමී දෘෂ්ටිවාදයට සම්බන්ධ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි තවත් වැදගත් ක්‍රියාකාරීන් සිටින්නට ඇති බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සැක පළ කරයි.

බෝම්බකරුවන් විසින් දේශීය වශයෙන් නිෂ්පාදිත පුපුරණ ද්‍රව්‍ය වැඩි වශයෙන් ප්‍රහාර සඳහා යොදාගෙන තිබුණ ද ඇතැම් පුපුරණ ද්‍රව්‍ය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු වැනි ප්‍රාන්තවලින් ලබාගන්නට ඇති බවට ද සැක කරන බව යුද හමුදාපතිවරයා පෙන්වා දී ඇත.

“ඔබ දන්නා පරිදි මේ වන විට 9 දෙනෙකු සියදිවි හානිකර ගෙන මියගොස් තිබෙනවා. ඒ වගේම ඔබ හදුන්වනු ලබන අන්තවාදී හෝ ත්‍රස්තවාදින් යන දෙවන පෙළ පිරිස මේ වන විටි අත්අඩංගුවේ පසුවනවා.

මීට සම්බන්ධ පිරිසෙන් සියයට 75 කට වඩා පිරිසක් මේ වන විට පොලිස් හා හමුදා අත්අඩංගුවේ පසුවනවා. ඒ නිසා මිට සම්බන්ධ වූ පාර්ශවයන් සොයා ගැනිමට සහ හඳුනාගැනීමට මේ වන විට අප කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කනස්සල්ලට පත්විය යුතු නැහැ. මෙය දැන් සම්පුර්ණයෙන් පාලනය කර තිබෙනවා.

මීට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මම කතා කරන්නේ මේ සිදුවිමේ පිටත සිටින ජනතාව සම්බන්ධයෙන්.

ඔවුන්ගේ බොහෝ දෙනෙක් සතුව උපකරණ, පුපුරණ ද්‍රව්‍ය හා අන්තරායක ද්‍රව්‍ය තිබේනම් එය වැදගත් කරුණක්.

යුද හමුදාපති ලෙස මා කියන්නේ සමාන්‍ය ජනතාව මේ සම්බන්ධයෙන් කරදර නොවිය යුතුයි. හමුදාවට මෙය පාලනය කිරිමට ඉඩ ලබාදෙන්න. රටේ ජනතාව සාමාන්‍ය පරිදි ජන ජිවිතය ගෙනයන්න.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියේය.

RSL

Related Posts