The Revenant (2015)

Spread the love

indexද රෙවනන්ට්, 2015 වසර අවසානය වෙත්දී සිනමා රසිකයන් අතරත් සිනමා විචාරකයන් අතරත් නිරන්තරව කතාබහට ලක්වුණු සිනමා පටයක්. එය ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය අරඹන්නේ ජනවාරි 8 වැනිදායි.

ද රෙවනන්ට්, බර්ඩ්මෑන් චිත්‍රපටය නිර්මාණය කරමින් 2015 වසරේ හොඳම සිනමා පටය සහ හොඳම සිනමා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මාන ලද, මෙක්සිකානු සිනමා අධ්‍යක්‍ෂ අලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ ගේ නිර්මාණයක්. ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ සහ ටොම් හාර්ඩි ද රෙවනන්ට් චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

ද රෙවනන්ට් චිත්‍රපටය, සත්‍ය සිදුවීම් මාලාවක් පසුබිම් කරගනිමින් මයිකල් පන්ක නම් ලේඛකයා රචිත නවකතාවක් පදනම කොටගෙන ගොඩනැගුණක්.

ඒ 1823 වසරයි. හියු ග්ලාස් පලපුරුදු දඩයක්කරුවෙක්. ඔහු ඇතුලු දඩයක්රුවන් පිරිසක් ලුසියානාවේ වනාන්තරයක දඩයම් චාරිකාවක් සඳහා පිටත්ව යනවා. අනපේක්‍ෂිත ලෙස ඔහු වළසෙකුගේ ප්‍රහාරයකට ගොදුරුවනවා. මරණීය තුවාල ලබන හියු ග්ලාස් සිය සගයන් විසින් මහ වන මැද අත්හැර දමනු ලබත්දී ලෝකයාට හියු ග්ලාස් යනු තවදුරටත් ජීවතුන් අතර නැති පුද්ගලයෙකු බවට පත්වනවා. එතැන්පටන් දිගහැරෙන්නේ සිය ජීවිතය යළි දිනාගැනීම වෙනුවෙන් හියු ග්ලාස්, ශීත කටුක ඇමෙරිකානු වන බිම් හරහා කරන දුෂ්කර ප්‍රයාණය පිළිබඳ ත්‍රාසජනක වෘතාන්තයයි.

Revantහියු ග්ලාස් චරිතයට පණ පොවන ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ මෙවර හොඳම රංගන ශිල්පියාට හිමිවන ඔස්කාර් සම්මානය වෙනුවෙන් තියුණු තරඟයක් දෙනු ඇති බොහෝ දෙනාගේ විශ්වාසයයි. රංගනය උපරිමයෙන් තාත්වික කිරීම සඳහා ඔහුට එක් දර්ශනයක මළ බයිසන් ගවයෙකුගේ අතුනුබහන් අමුවෙන් ආහාරයට ගැනීමට පවා සිදුවුණා. ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ මීට පෙර තුන් වතාවක්ම හොඳම රංගන ශිල්පියා ලෙස ඔස්කාර් සම්මානයට නිර්දේශවූවත් එක් වතාවක් හෝ එය හිමිකරගැනීමට වරම් ලැබුවේ නැහැ.

ප්‍රධාන චරිතය වෙනුවෙන් පමණක් නොව අනෙක් බොහෝ සම්මාන අංශ වෙනුවෙනුත් ද රෙවනන්ට් චිත්‍රපටය මෙවර ඔස්කාර් නිර්දේශ ලේඛනයේ සැලකිවයුතු ඉඩකඩක් වෙන්කරගනු ඇති බව කාගේත් බලොපොරොත්තුවයි.
– අඛිල රන්සිරි මලලගේ

RSL

Related Posts