තාජුඩීන්ගේ මීනිමරුවා අල්ලන්නේ නැත්තේ ඇයි..? – අනුර සේනානායක අධිකරණය කළඹයි

Spread the love

තමන් දෙස අපරාධකරුවෙකු ලෙසින් නොබලන ලෙසත් මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසත් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ ප්‍රකාශයක්‌ කරමින් ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාළව විවෘත අධිකරණය හමුවේ පළමු වරට ප්‍රකාශයක්‌ සිදු කරමින් එසේ ඉල්ලා සිටි සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වන මෙම පැමිණිල්ලට වසර දෙකක්‌ ගත වෙලත් මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණේ මන්දැයි යන්න අවධානයට ලක්‌ කළ යුතු යෑයිද වැඩිදුරටත් කියා සිටියේය.

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සැකකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක්‌ කරමින් එසේ කියා සිටියේය.

පැමිණිල්ල කැඳවනු අවස්‌ථාවේදී රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

පැමිණිල්ල හා අගතියට පත් පාර්ශවයේ කරුණු දැක්‌වීම්වලින් අනතුරුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිමින් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක්‌ සිදු කළ අනුර සේනානායක සැකකරු මෙසේද කියා සිටියේය.

සැකකාර අනුර සේනානායක(-

ස්‌වාමීනී…. මේ පැමිණිල්ලේ පරීක්‌ෂණවලට හරියටම මේ වන විට වසර දෙකක්‌ වෙනවා. පරීක්‌ෂණවලට වසරයි මාස තුනක්‌ යන කොට මාව අත්අඩංගුවට ගත්තා. පැමිණිල්ලට බී වාර්තා 50 ක්‌ විතර දාලා තියෙනවා. ඒ කිසිම එකක මාව අත්අඩංගුවට ගන්න සුදුසු කරුණු දැක්‌වීමක්‌ නෑ. මාව අත්අඩංගුවට ගත්තේ සාක්‌කි වසන් කිරීමට. යම් සාක්‌කිකරුවෙකු ලබාදුන් ප්‍රකාශයක්‌ මත සාක්‌කි වසන් කිරීමේ චෝදනාවට මේ උසාවියට ඇප දෙන්න පුළුවන්. ඒත් දිගින් දිගට රිමාන්ඩ් කරලා තියන්න ඕනේ නිසා මිනීමැරුම කුමන්ත්‍රණය කළා කියලා පසුව වෙනස්‌ කළා. දැන් මාස 10 ක්‌ රිමාන්ඩ් එකේ ඉන්නවා.

මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගත යුතුයි. එය මඟ හරින්න දෙන්න එපා.

ස්‌වාමිනී…. මා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂවරයා ලෙස පත්වීමට පෙර එය භාර ගන්න කිසිවකු සිටියේ නෑ. ඒ කාලය එල්. ටී. ටී. ඊ. ප්‍රහාර කොළඹටත් එල්ල වූ කාලයක්‌. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂවරයා ලෙසින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් දණ ගස්‌වන්න මා මොන තරම් සටනක්‌ කළාද කියලා රටම දන්නවා. මම එය මතක්‌ කළේ ඒවා නිසා මාව නිදහස්‌ කරන්න කියලා. ඉල්ලන්න නොවෙයි.

නිකරුණේ රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින මා ඉතාමත් දැඩි මානසික කායික අසහනයකට පත් වෙලා තියෙනවා. මගේ මල්ලි හමුදාවේ. ඔහුව එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්‌ වෙලා මියගියා. මගේ අම්මා රණවිරු මාතාවක්‌.

ස්‌වාමිනී…. මගේ දිහා අපරාධකරුවෙකු විදියට බලන්න එපා කියලා ඉල්ලනවා. මුළු රටම මෙම ඝාතනය මා කළ එකක්‌ කියා බලා ඉන්නවා. තාජුඩීන් මහතාව ඝාතනය කළ මිනීමරුවන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. වසර දෙකක්‌ ගත වෙලත් එය මේ වන තෙක්‌ සිදු වී නැත්තේ ඇයි දැයි විමසිය යුතුයි. මා හට සහනයක්‌ ලබා දෙන ලෙසද ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්‌ වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කරුණු දක්‌වමින් සිද්ධියට අදාළ තවදුරටත් විමර්ශන පවත්වන බවත් තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබඳින ලද පුද්ගලයා අනාවරණය කර ගැනීමට එම කාලය තුළදී අවට ගමන් කළ වාහන හිමිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් කියා සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිස්‌බා සතාර් මහතා කරුණු දක්‌වමින්a පැමිණිල්ලේ පරීක්‌ෂණ සම්බන්ධයෙන් තමන්ට සෑහීමකට පත් වීමට නොහැකි බවත්, පරීක්‌ෂණ අඩාල කර උසාවිය නොමඟ යෑවූ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් මේ වන තෙක්‌ ගත් පියවරක්‌ නොමැති බවත් කියා සිටියේය.

වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කරුණු දක්‌වමින් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර ඇතුළු වෛද්‍ය කණ්‌ඩායම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ පරීක්‌ෂණය තවදුරටත් සිදු කරන බවත් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මේ වන විට විශ්‍රාම ගොස්‌ ඇති බැවින් වෛද්‍ය සභාව මඟින් ගනු ලබන තීරණ කොතරම් දුරට ක්‍රියාත්මක කළ හැකි දැයි යන්න ගැටලුවක්‌ මතු වන බවත් කියා සිටියේය.

අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා – හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සම්බන්ධයෙන් උසාවිය තීරණයක්‌ ගැනීමට වෛද්‍ය සභාවේ තීරණය අවශ්‍ය වෙනවා. ඔහු ගැන පොලිසිය සිදු කළ පරීක්‌ෂණවලට මොකද වුණේ.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව-

නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට යොමු කරලා තියෙනවා ස්‌වාමිනී….

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා-

ඒ ගැන ඉදිරියේදී දැනුම් දෙනවා ස්‌වාමීනී….

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු ලබන 30 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් එදිනට සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‌ෂණයේ ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.

RSL

Related Posts