තාජුඩීන් ඝාතනයේ ලේඛන ගොනුව වසාදමන්න නියෝග කරලා

Spread the love

murder-yoshitha-rajapaksaපොලිස්පතිතුමා වෙත යොමු කළ යුතු ලේඛන පවා තමාවෙත යොමු කරන ලෙසට බලපෑම් කළ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ මාරක රිය අනතුරු ගොනුව වසා දැමීමට නියෝග කළේ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කෝරලේවත්ත ගමරාලලාගේ ධර්මවර්ධන මහතා රහස් පොලිසියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇති බවට රහස් පොලිසිය පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත කරුණු වාර්තා කළේය.

මේ සිද්ධියට අදාළ ගොනුව වන ඒ. ආර්. 134/12 මාරක රිය අනතුරු ගොනුව රහස් පොලිසියට එනතුරු නොදුටු බවට දෙවන සැකකරු වන තෝල්ක මුදලිගේ අනුර සේනානායක මහතා රහස් පොලිසියට කරන ලද ප්‍රකාශය අසත්‍ය බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

සිද්ධිය පසුගියදා නැවත කැඳවනු ලැබූ අතර සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

වැඩිදුර වාර්තාවක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියුම්ව හා සූක්ෂම ලෙස ඉදිරි විමර්ශන පවත්වන බවය.

මීට අමතරව මොබිටෙල් දුරකථන සමාගම විසින් පැමිණිල්ලට සහාය නොදක්වන බැවින් විමර්ශන සඳහා බාධා පැමිණ ඇති බවත් එහි විශ්ලේෂණ වාර්තා නොලැබීම සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරිවරයාට නොතිසි නිකුත් කරන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙහිදී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා දැනුම් දෙනු ලැබුවේ අස්ථි කොටස් අස්ථානගත කිරීම හා නිසියාකාර පශ්වාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර හා ඔහුට සහාය දැක් වූ වෛද්‍ය විජේරාජගුරු, වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්නයන තිදෙනාට වෘත්තිය චර්යා කමිටුව මඟින් විධිමත් විමර්ශනයක් කර චෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිත බවය.

මෙහිදී පළමු සැකකරු වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා දැන්වූයේ වසර 18ක් සිය සේවාදායකයා පොලිස් පරීක්ෂක තනතුර දැරූ බවත් මෙවැනි සැලසුමක් සිදු කළේ නම් මේ වන විට පොලිස්පති වී ඇති බවය.

තවද ඔහු ස්වෙච්ඡාවෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127(1) වගන්ති ප්‍රකාරව ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් පැවසීය.

දෙවන සැකකරු වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැවසුවේ පැමිණිල්ල තමන්ට උවමනා අය වරදකරුවන් කිරීමට මෙම සැකකරුවන් යොදා ගෙන ඔවුන් බන්ධනාගාරගත කර ඔවුන්ගෙන් 127 (1) වගන්ති ප්‍රකාරව ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක නිරත වන බවය.

තවද ධම්මාලෝක හිමියන්ට එක් ආකාරයකටත් ආණ්ඩුවට අපක්ෂපාති අප වැනි අයට තවත් ස්ථාවරයක් දරන බවපැවසු නීතිඥවරයා පොලිසිය මේ කටයුතු සඳහා අධිකරණය බළල් අතක් ලෙස භාවිතා කරන බව පැවසීය.

ඊට පිළිතුරු දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් පෙ‍රේරා මහතා පැවසුවේ රසාස්වාදයෙන් පිරි දේශනයක් සිය උගත් මිතුරා විසින් කරනු ලැබූ බවත් නීතිපතිවරයා හා රහස් පොලිසියට දෝෂාරෝපණය කිරීම දැඩිව හෙළා දකින බවය.

නීති පසුබිම හැරවෙනත් අරමුණක් තමන් සතු නොවන බව අවධාරණය කළ රජයේ නීතිඥවරයා වරදේ බරපතළකම මුල සිටම මහේස්ත්‍රාත්වරයා දැන සිටි බවත් රිය අනතුරක් ලෙස දක්වා තිබූ සැලසුම්ගත මිනීමැරුම පර්යේෂණ සාක්කි මඟින් අප මේවනවිටත් ඔප්පු කර අවසන් බව පැවසීය.

මෙය සාවද්‍ය මිනීමැරුමක් බවත් ප්‍රධාන සැකකරු සමඟ දැනට බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් කුමන්ත්‍රණය කළාද? අවශ්‍ය කරුණු වසන් කළාද? යන්න පිළිබඳව තවමත් රහස් පොලිසිය විමර්ශන පවත්වන බව පැවසීය.

මහජන කැළඹීම පිළිබඳව තමාට කරුණු දැක්වීමට අවශ්‍ය නැති බවත් නඩුව කැඳවූ දිනට පසු දින මාධ්‍ය මඟින් පුළුල්ප්‍රචාරයක් ලබා දෙන්නේ මහජනතාව ඒසම්බන්ධව දැඩි උනන්දුවකින් පසු වන නිසා බව පැවසූ රජයේ නීතිඥවරයා 127(1) වගන්ති ප්‍රකාරව සැකකරුවන්ට ප්‍රකාශ ලබා දෙන ලෙස කිසිවිටෙකත් රහස් පොලිසිය හෝ නීතිපතිවරයා දැනුවත් නොකළ බව පැවසීය.

මාරක රිය අනතුරු ගොනුව තමා අතට පත් නොවූ බවත් එය දුටුවා නම් අඩු පාඩු සොයා නැවත විමර්ශනය කිරීමට නියෝග ලබා දෙන බවත් පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි ධර්මවර්ධන විසින් මාරක රිය අනතුර ගොනුව වසා තැබීමට නියෝග කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් නොකළ බවත් එම නිසා වගකීම තමාට බාරගත නොහැකි බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්‍රකාශ කළ බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ඒ අනුව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කෝරලෙවත්ත ගමරාලලාගේ ධර්මවර්ධන නමැති අයගේ ප්‍රකාශයක් ලබා ගත් බවත් දෙවන සැකකරු නඩු කටයුතු සම්බන්ධ ලේඛන පොලිස්පතිතුමා වෙත යොමු කිරීමට ඇති ලේඛන තමාවෙත ඉදිරිපත් කරන ලෙසටත් ඒ . ආර්. 134/12 මෙම සිද්ධියට අදාළ මාරක රිය අනතුර ගොනුව වසා තැබීමට නියමකළ බවට ප්‍රකාශ ලබා දී ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මරණකරුගේ මුදල් පසුම්බිය පිළිබඳව ද පොලිස් සටහන් යොදා ඇතිබවත් මෙම වාර්තා තම අත තිබිය දී ඒ වාර්තා ඉදිරිපත් නොකළ බවට අසත්‍ය ප්‍රකාශ දෙවන සැකකරු රහස් පොලිසිය වෙත ලබා දීම සත්‍ය වසන් කිරීමක් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිට නැවත නොතිසියක් නිකුත් කිරීමටත් වෛද්‍ය සභාවේ පර්යේෂණ පිළිබඳව අඛණ්ඩව අධිකරණය දැනුවත් කරන ලෙසටත් නියෝග කළේය.

කිසිම පාර්ශ්වයක් සතුටු කරන නියෝග අධිකරණය විසින් ලබා නොදෙන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා අධිකරණ නියෝග පිළිබඳ සෑහීමකට පත් නොවන පාර්ශ්වයන්ට ඉහළ අධිකරණ වෙත යෑමේ හැකියාව පවතින බව පවසමින් මෙම සිද්ධිය පිළිබඳ රහස් පොලිසිය නිරන්තරයෙන් නාරාහේන්පිට පොලිසිය දැනුවත් කළ බව පැවසීය.

සැකකරුවන් දෙදෙනා වරදකරුවන් ලෙස පූර්ව නිගමනයකින් නොබලන බවත් එය තහවුරු වන්නේ නඩු විභාගයකින් පසුව බවටත් අධිකරණයට දැන් වූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පොලිස් නිලධාරීන් බැවින් ඔවුන්ගේ පවතින විශේෂ සබඳතා අනුව සාක්කිකරුවන්ට බලපෑම් විය හැකි බව පැවසීය.

සැකකරුවන් වෙත ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන කඩිනම් කරන ලෙස රහස් පොලිසියට දන්වමින් පැවසුවේ සැකකරුවන් ඉහළ අධිකරණ මඟින් ඇප ලබාගතහොත් විමර්ශනවලට බාධා ඇති විය හැකි බවය.

ඒ අනුව සැකකාර නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා හා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මස 9 දක්වා තවදුරටත් බන්ධනාගාරගත විණ.

RSL

Related Posts