සතිඅග සළරුව – Straight Outta Compton (2015)

Spread the love

Straight Outta Compton (2015)

ධනවාදය දරා සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාසය කරන ඇමෙරිකානු සමාජයේ තවමත් හොල්මන් කරමින් ඇති කළු-සුදු භේදවාදය අප්‍රිකානු-ඇමෙරිකානු තරුණපරපුර රැගෙන යන මානය හෙළි කෙරෙන සිනමා පටයකි ස්ට්‍රේට් අව්‘ට කොම්ටන්. (Straight Outta Compton) එහි කියැවෙන්නේ රැප් සංගීත කරලියේ කිරුළුපලන් තාරකා බවට පත්වූ, ඩොක්ටර් ඩ්‍රේ, එම්සී රෙන්, ඊසී-ඊ, ඩීජේ යේලා සහ අයිස් කියුබ් යන සංගීත ශිල්පීන් සිය “එන්.ඩබ්ල්‍යු.ඒ” කණ්ඩායම සමග තරු ගමන ඇරඹූ මුල් යුගය ගැනයි. ඔවුන් සියල්ලන්ගේම සංගීත ගමනෙහි මුල දකුණු ලොස් ඇන්ජලීස් හි කොම්ටන් නගරයයි. විරැකියාව, අසහනය සහ වර්ණභේදවාදය නිසා ප්‍රචණ්ඩත්වයට ලක්වීමටත්, ප්‍රචණ්ඩත්වය පැතිරවීමටත් උරුමකම් කියමින් විනාශයට යාමට තිබූ සිය තරුණ ජීවිත වල කැකෑරෙන සමාජ ආවේගය රැප් සංගීතය ඔස්සේ එළිදැක්වීමට ඔවුන් ගත් තැත ස්ට්‍රේට් අව්‘ට කොම්ටන් හි සිනමාවට නැගෙනවා. එෆ් ගැරී ග්‍රේ නම් කළු ජාතික අධ්‍යක්‍ෂවරයා විසින් විත්‍රපටය අධ්‍යක්‍ෂණය කොට තිබෙනවා. ඩොක්ටර් ඩ්‍රේ සහ අයිස් කියුබ් චිත්‍රපටයේ සම නිෂ්පාදකත්වයන් දරනවා. චිත්‍රපටයේ අයිස් කියුබ් ගේ චරිතයට පණ පොවන්නේ ඔහුගේම පුත්‍රයා වන ඕ‘ෂේ ජැක්සන් ජූනියර් වීම විශේෂත්වයක්.

මෙවර ඔස්කාර් සම්මාන නිර්දේශ ලේඛනයට එල්ලවී ඇති ප්‍රබලම චෝදනාව නම්, කළු ජාතික ශිල්පීන් ප්‍රධාන සම්මාන කිසිවක් සඳහා යෝජනාවී නොතිබීම. ඒ අතරවාරයේ ස්ට්‍රේට් අව්‘ට කොම්ටන් අවිවාදයෙන්ම වසරේ හොඳම චිත්‍රපටය වීම සඳහා මෙවර නාමයෝජනා ලැබිය යුතු ගණයේ චිත්‍රපටයක්. නමුත් එය නිර්දේශ ලබා ඇත්තේ හොඳම ස්වතන්ත්‍ර තිරරචනය සඳහා පමණයි. ඒ සඳහා නාමයෝජනා ලබා සිටින තිර රචක රචිකාවියන් පිරිසත් සුදු ජාතිකයන්. මෙවර ඔස්කාර් සම්මාන වල කළු ඇමෙරිකානු නාමයෝජනා අඩුවීමට විරෝධය පාමින් අධ්‍යක්‍ෂ ස්පයික් ලී සහ, රංගන ශිල්පිනී ජේඩා පින්කට් ස්මිත් මේවනවිටත් මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රිය වර්ජනය කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. මෙවර හොඳම සිනමා නිළිය සම්මාන නිර්දේශ අතර සිටින ශාර්ලට් රැම්ප්ලිං කියාසිටින්නේ කළු ඇමෙරිකානු නාමයෝජනා නැතිවීම ගැන ඕනෑවට වඩා කතාකරමින් සිටීම සුදු ජාතික ශිල්පීන් හට කරන අසාධාරණයක් බවයි. මේ අතර දෙදහස් එකොළහ වසරේදී ද හෙල්ප් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලද කළු ඇමෙරිකානු ශිල්පිනී වයෝලා ඩේවිස්, සම්මාන ලේඛන අතරට යාමට තරම් දියුණු සිනමා නිර්මාණ පසුගිය වසරේදී කළු ජාතික ශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණවී නොමැතිනම් එය කාගේ හෝ වරදක් නොවන බව පෙන්වා දෙනවා.

සියලු මදවාද මධ්‍යයේ ප්‍රේක්‍ෂකයන් සහ විචාරකයන් යළි යළිත් නගන ප්‍රශ්නය වී ඇත්තේ ස්ට්‍රේට් අව්‘ට කොම්ටන් චිත්‍රපටය එයට හිමිවිය යුතු නිසි ඇගයුම නොලබන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

අඛිල රන්සිරි මලලගේ

[youtube l5r5cZk0EfY]

RSL

Related Posts