ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි තමාට තර්ජනාත්මක බලපෑම් සිදුකළ බව අගමැති රනිල් නිල නිවේදනයකින් කියයි

Spread the love

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව “ඉන්දීය නිල සංචාරය” සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි.

ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට තර්ජනාත්මක බලපෑම් කළ බව ශ්‍රී ලංකා අගමැති මතභේදාත්මක නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඉකුත් 20 දා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ඉන්දියාවේදී එ රට අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේ දී සිදු වූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේ කරුණු විස්තරාත්මක ලෙස හෙළි කරමින් ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයේ පැහැදිලි ලෙසම දක්වා ඇත්තේ ඉන්දීය අගමතිවරයා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ තර්ජනාත්මක ලෙස බලපෑම් කළ බවකි.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් කර ඇත්තේ “ඉන්දු-ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කනස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බවත්, තමා (මෝදි අගමැතිවරයා) පිළිබඳ හෝ ඉන්දීය රජය පිලිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස” දැන්වූ බවත් ය. එනම්, මෝදි අගමැතිවරයාට අවශ්‍ය තාලයට සහ වේගයට ශ්‍රී ලංකාවේ වැඩ වෙන්නේ නැති බවත්, තමා ගැන හෝ ඉන්දියාව ගැන සැකයක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් මූණට ඒ බව කෙළින් කියන ලෙසත් ය. එසේම තමා රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව වැඩිම වේලාවක් ලංකාවේ වැඩ කටයුතු වෙනුවෙන් වැය කර ඇති බවට මෝදි අගමැතිවරයා ආඩාපාලි කියූ බවක් ද ශ්‍රී ලංකා අගමැතිවරයා ගේ නිල නිවේදනයේ දක්වා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා අගමැතිවරයාගේ නිල සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය නිකුත් කළ නිවේදනය සමඟ සසඳා බැලීමේදී පරස්පර විරෝධීත්වයක් පෙන්නුම් කරන අතර එහි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන පරිදි කිසිඳු තර්ජනයක් හෝ බලපෑම් එල්ල කළ බවක් වාර්තා නොවේ.

ඉන්දීය අගමැති නිල නිවේදනයේ දක්වා ඇත්තේ “දෙරට අතර සම්බන්ධතාව තවත් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට, අධ්‍යාපන ක්ෂෙත්‍රයට, සෞඛ්‍ය, යටිතල පහසුකම් දියුණු කිරීම සහ ශ්‍රී ලාංකික ජනතාව හා ඉන්දීය ජනතාව අතර මිත්‍ර ශීලී සම්බන්ධතාවක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ” බවත් ය.

ශ්‍රී ලංකා අගමැතිවරයා ගේ මෙම මතභේදාත්මක නිවේදනය ඉන්දීය අගමැතිවරයාගේ කලාපීය රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය සම්බන්ධයෙන් ඉතා අහිතකර ප්‍රතිරූපයක් මවා පාන අතර, ඔහු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එහාට ගිය තර්ජනාත්මක ඇගිලි ගැසීමක් සිදු කරන බව නිරූපණය කරයි. එය මෝදි අගමැතිවරයාගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි ලෙස හානි කරයි.

අනෙක් අතට, ඓතිහාසික සහ ඉන්දු-ලංකා ගිවිසුම ඇතුළු මෑත කාලීන දේශපාලනික කරුණු මත පදනම්ව, ඉන්දීය ඇගිලි ගැසීම් සම්බන්ධයෙන් ඉන්දීය විරෝධයක් ශ්‍රී ලාංකික ජන කොටස් අතර ඇති කිරීමට මාන බලමින් සිටින දේශීය දේශපාලන කණ්ඩායම් වලට මෙම මතභේදාත්මක නිවේදනය නිල වශයෙන් ආයුධ සැපයීමකි. ඒ නයින් බලන විට, ශ්‍රී ලංකා අගමැතිවරයාට අවශ්‍ය වූයේ එම විරෝධය රට තුළ ඇති කර, ඉන්දීය ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට විය හැකියැයි ද අනුමාන කළ හැකිය.

කෙසේ වෙතත්, මේ ගැන කරුණු පැහැදිලි කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයාට ය. එහෙත් අවධානය යොමු කළ යුතු බරපතල කාරණය වන්නේ ශ්‍රී ලාංකික අගමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමට කළින් ඉන්දීය විරෝධී දේශපාලන කණ්ඩායම් උග්‍ර ඉන්දීය විරෝධයක් උසි ගැන්වීමට මෙම මතභේදාත්මක නිවේදනය හොඳ ආයුධයක් කර ගැනීමට ඇති ප්‍රබල ඉඩ කඩයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ නිල නිවේදනය

RSL

Related Posts