ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කුරේ පිටට මරේ වෙයි

Spread the love

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (03දා) පැවැති පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී නියමිත කාලසීමාව තුළදී එක් පන්දු වාරයක් අඩුවෙන් යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඩ මුදලක් පැනවීමට තරග තීරක රිචී රිචර්ඩ්සන් තීරණය කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීති සංග්‍රහයේ 2.22 වගන්තිය ප්‍රකාරව සිදුකළ වරදක් ලෙස සලකා මේ සඳහා දඬුවම් පැනවෙන අතර, ඒ අනුව කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ තරග ගාස්තුවෙන් සියයට 20කුත් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් සියයට 10ක් බැගින් වූ මුදලකුත් දඩ මුදලක් ලෙස අඩුකර ගැනීමට කටයුතු කෙරේ.

තවද ඉදිරි මාස 12ක කාලය තුළ තවත් එක්දින තරගයකදී නියමිත කාලය තුළ පන්දුවාර ගණන අඩුවෙන් යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළහොත් නායකයකු ලෙස මාලිංගට එක්දින තරග තහනමකට ලක්වීමේ අවස්ථාවද උදාවනු ඇත.

කෙසේ වෙතත් එසේ තරගය අවසානයේදී සිදුවී ඇති වරද ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග විසින් පිළිගන්නා ලද බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවද අයි.සී.සී. ය මේ සම්බන්ධයෙන් ඊයේ (3දා) නිකුත් කළ නිවේදනයකද සඳහන්ය. මෙම දඬුවම පැනවීමේදී තරගයේ විනිසුරුවන් වන ක්‍රිස් බ්‍රවුන් හා පෝල් විල්සන් මෙන්ම තුන්වන විනිසුරු රිචඩ් ඉලින්වර්ත් සහ හතරවැනි විනිසුරු ෂෝන් හේග්ගේද නිර්දේශ අනුව කටයුතු කළ බවද පැවැසේ.

RSL

Related Posts