විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනමත විචාරණයක්

Spread the love

පළාත් සභා ඡන්ද තියන්න පෙර වසර 04ක් කල්ගිය විධායක ජනාධිපතිවරණය පිළිබඳ ජනමත විචාරණය පැවැත්විය යුතුයි. 2015 ජනවාරි මාසයේ බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේනගේ පළමු කාර්යය බවට පත්ව තිබුණේ දින සියයේ කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස කළුතරදී කීවේය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මෙසේද පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාව තිබුණා නම් 2015 ජනවාරි මාසයේදී බලයට පත්වූ ආණ්ඩුවේ දින සියය තුළ මේ සම්බන්ධ ජනමත විචාරණයක් පැවැත්වීමට හැකියාව තිබුණා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජනමත විචාරණයට දැන් අවුරුදු හතරක් කල් ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තුවෙ මන්ත්‍රිවරු 225 දෙනාට වඩා ලක්ෂ 157ක් වන ඡන්ද දායකයන් වටිනා බව අපිත් පිළිගන්නවා. ජනතා පරමාධිපත්‍යය තිබෙන්නෙ මේ ඡන්ද දායකයන් අතයි. ඒ නිසා රාජපක්ෂ කණ්ඩායමේ අය මේ ලක්ෂ 157 ගැන කිඹුල් කඳුළු හෙළනවා නම් ඔවුනුත් කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා තුළින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට බාධා කිරීම වෙනුවට එම තීරණය ජනතාව අතට පත් කිරීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ මේ වෙලාවේ ඉල්ලීම වෙන කිසිවක් නොව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන ජනමත විචාරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසයි. ඊට පසුව පළාත් සභා සහ මහ මැතිවරණ පවත්වලා ආයතන සඳහා අලුත් නියෝජිතයන් පත්කර ගැනීමට හැකියි.

2015 ජනවාරි මාසයේදී මේ රටේ ලක්ෂ 62ක ජනතාව ඉල්ලා සිටියේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙසයි. ඒකට සාධාරණ හේතු රැසක් තිබුණා. ඒ වනවිට අවුරුදු 37ක් වයස ජනාධිපති ධුරයෙ ආදීනව මේ රටේ ජනතාව හොඳ හැටි අත් විඳලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරුන්ගේ ක්‍රියාකලාප මේ රටේ ජනතාව අත්විඳලා තිබුණා. මේ රටේ උතුරෙත් දකුණෙත් සිවිල් යුද්ධ නිර්මාණය කළේ මේ විධායක ජනාධිපති ධුරයන් විසිනුයි. 1988 ජනාධිපතිවරණයේ ඉඳලා සෑම ජනාධිපතිවරණයකම ප්‍රමුඛ සටන් පාඨය බවට පත්වුණා. 1994දි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පැමිණි අපේක්ෂිකාව ජයග්‍රහණය කළා.

2005 දිත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. 2015 දී නිශ්චිතවම ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඉදිරියට දාගෙන පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා ලක්ෂ 62කින් මේ රටේ ජනාධිපති පුටුවෙ වාඩි වුණා. පසුගිය වසර හතර තිස්සේම මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩ කරන්නේ විධායක ජනාධිපති ධුරය අත්හැරීම වෙනුවට තව තවත් එය බදාගන්නයි. ජනාධිපති පුටුව බදාගෙන එයා අද දඟලනවා.

විධායක ජනාධිපති ධුරයෙ අවුරුදු 40කදී නොදුටු ආදීනව පසුගිය දින 52දි මේ රටේ ජනතාවට දැකගන්න අවස්ථාව උදා වුණා. ඒ නිසා දැන් කළ යුතුව තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවත් රටත් ජනතාවත් පෙළ ගැසීමයි. ඒ සඳහා ප්‍රථමයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කළ යුතුයි. ඊළඟට එය ජනමත විචාරණයකින් අනුමත කළ යුතුයි.

පසුගිය 18 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ශක්තිය උරගා බලන්න අවස්ථාවක් උදා වුණා. ඒ ගෙනාව අතුරු සම්මත ගිණුම පරාජය කිරීමට විපක්ෂයට හැකියාව තිබුණා. නමුත් ඊට එරෙහිව ඡන්දය දුන්නෙ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. රාජපක්ෂ මහත්තය ඇතුළු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඊට විරුද්ධව ඡන්දය දුන්නා නම් අතුරු සම්මත ගිණුම පරාජය කිරීමට හැකියාව තිබුණා.

දැන් එළියට ගිහිල්ලා ආණ්ඩුවට තිබුණෙ 104යි. එයින් 14ක් ටී.එන්.ඒ. කිව්වාට වැඩක් නැහැ. ආණ්ඩුව පරාජය කිරීමට, ආණ්ඩුවට විරුද්ධ වීමට අවස්ථාව ලැබුණාම ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම විපක්ෂයේ කාර්යභාරයයි.

මහින්ද රාජපක්ෂ මහතා කවදාවත් එක්සත් ජාතික පෙරමුණේ අය වැයකට විරුද්ධව ඡන්දයක් දීලා නැහැ. මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ හැම අය – වැයක්ම අනුමත කළ අයෙක්. 2015 නොවැම්බර් අය වැයේ සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අය – වැය හතරම පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මහතා අත උස්සලා නැහැ.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරය පවරාගන්නත් එතුමා කරන්නෙ පසුගිය කාලයේ කළ වැඩම තමයි. මේකෙන් පේන්නෙ රනිල් වික්‍රමසිංහට අගමැති පුටුවෙ වාඩිවෙන්න ඉඩ දීලා තමන්ගේම නඩු ටික යට යවා ගැනීමේ ඩීල් එකක මහින්ද රාජපක්ෂ මහතා නිරත වන බවයි. ඒක දැන් ඉතාම හොඳින් පැහැදිලියි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයත් දැන් අවදානමට ලක්වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ දැන් තිබෙන සංයුතිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායක ධුරය හිමි විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නවා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි කියා ගනිමින් දැන් ඉන්න පොහොට්ටුවෙ කෙනකුට විපක්ෂ නායක ධුරය අයිති නැහැ. කළයුතු වන්නේ පොහොට්ටුවේ සාමාජිකත්වය නොගත් එ.ජ.නි.ස. සාමාජිකයකුට ලබා දීමයි.

RSL

Related Posts