බැඳුම්කර මංකොල්ලයේ පාඩුව රු.කෝටි 20,585 ක් බව කොමිසම හමුවේ හෙළිවේ.. (Exclusive)

Spread the love

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට පත්කරන ලද සිංගප්පුරු ජාතික කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් බැඳුම්කර වෙන්දේසියේදී මංකොල්ලකෑමෙන් මේ රටට අහිමි වූ මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 20,585 ක් බව ඊයේ (02) බැඳුම්කර පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය විය.

අපේ රටේ සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය බැඳුම්කර වංචාව නිසා ඊට වගකිව යුතු අර්ජුන මහේන්ද්‍රන් මහතා නීතිය ඉදිරියට ගෙන ආ යුතු යෑයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සහ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

2015-02-27 දින සිට 2016-06-30 දින දක්‌වා අවස්‌ථා රැසකදී වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාතවලට මහබැංකුව විසින් මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට වාසිදායක ලෙස බැඳුම්කර නිකුත් කිරීම නිසා රජයට සිදුව ඇති මූල්‍ය හා දේපළ විනාශය රු. මිලියන 55850 ක්‌ (රු. කෝටි 5585 ක්‌) ලෙස ගණනය කර ඇතැයි ද සමරසිංහ මහතා කීවේය.

මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මේ බව හෙළි වන බව ද එම වංචනික ක්‍රියාව මහ බැංකු අධිපතිවරයාගෙන් රජය සහ සමාජය බලාපොරොත්තු වන භාරකරුවකුගේ විශ්වාසනීයභාවය සාපරාධී ලෙස උල්ලංඝනය කිරීමක්‌ බව ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දුන් වසන්ත සමරසිංහ මහතා කොමිසමට කියා සිටියේ මෙම බැඳුම්කර මගඩිය නිසා සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 15,000 ක පමණ අලාභයක්‌ සිදුව ඇති බවත් ඒ අනුව එම අරමුදලේ එක්‌ සාමාජිකයකුට පමණක්‌ රුපියල් හයදහසකට (රු.6,000 කට) අධික අලාභයක්‌ සිදුව ඇති බවත්ය.

දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් සම්පාදනය කළ විශේෂ වාර්තාවක්‌ කොමිසමට ඉදිරිපත් කරමින් හෙතෙම මේ තොරතුරු හෙළි කළේය.

මුදල් මණ්‌ඩලයේ සභාපති සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙම ගනුදෙනු හරහා අර්ථසාධක අරමුදලට අලාභයක්‌ විඳින්නට කටයුතු සලස්‌වා ඇති බැවින් මෙම වංචනික අලාභයක්‌ වෙනුවෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

මේ හොරකම් කළ මුදල් නැවත අර්ථසාධක අරමුදලේ භාරකරුවන්ට ලබාදිය යුතු බව ද ඒ මහතා කීවේය.

වසන්ත සමරසිංහ මහතා කොමිසමට ඉදිරිපත් කළ ඇතැම් ලේඛන කොමිසමේ විමර්ශන ලියවිලි ලෙස පිළිගන්නවාට අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා සහ පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විරෝධය දැක්‌වූහ.

RSL

Related Posts