සෝභිත හිමි ඝාතන කතාව සත්‍යයක් ද? චීවරවල සහ මන්ත්‍රී වරප්‍රසාදවල සැඟවූ කුමන්ත්‍රණයක් ද?

Spread the love

ven sobitha

අලි වංචාවකට හසු වී රිමාන්ඩ් බන්ධනාගාරතව සිට පැමිණි උඩුවේ ධම්මාලෝක හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ වැනි කිහිප දෙනෙක් මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මතු කළ කාරණාවක් වූයේ පසුගිය දා අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ස්වභාවිකව මරණයට පත් වූවා නොව ඝාතනය කරන ලද බව යි.

මෙය ඉතා බරපතළ ප්‍රකාශයක් වන අතර මෙරට සමාජය මෙය ඒ සා බරෙන් යුතු ව බාරගත්තේ නැත. සෝභිත හිමියන් මෙරට දේශපාලනයේ බොහෝ ඈත කාලයක සිට සක්‍රීය දායක වූ භික්ෂුන් වහන්සේ කෙනෙකි. කාලයෙන් කාලයට විවිධ දේශපාලන බලවේගවල පෙරමුණේ සටන් කළ උන්වහන්සේගේ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් නොයෙක් විවේචන අප සතුව ද තිබුණ ද එක් සත්‍යයක් අපිදු විතර්කයෙන් පිළිගනිමු. ඒ දේශපාලන බලවේගවලට ආවාඩා, තනතුරු තාන්න මාන්න හෝ වෙනත් සුඛ විහරණයන් ලබා ගැනීමටවත් පිනට විශ්වවිද්‍යාලවල කුලපතිකම් ලබා ගැනීමටවත් උන්වහන්සේට ආධ්‍යාශයක් නොතිබුණු බව ය. අර්හත් ධජය විවිධ බලකාමී ක්ලේශයන්ගෙන් කිළිටි නොකළ උන්වහන්සේ මෙරට සාධාරණ සමාජයක් බිහිවනු දැකීමේ අරමුණ දිවි ඇති තෙක් දැරුවෝ ය.

උන්වහන්සේගේ දිවියේ අවසාන කාලයේ ආසන්නත ම දේශපාලන මැදිහත්වීම සලකතොත්, එය මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හැර ජනපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත් කිරීම වෙනුවෙන් මහන්සි වීම ලෙස හකුළුවා ගත හැකි ය. රට ගෙන ගිය පැසිස්ට් පන්නයේ පවුල් පාලනයත්, ගෝත්‍රික අශිෂ්ටත්වයටත් එරෙහිව උන් වහන්සේ නිර්භය ව පෙනී සිටිය හ. එකී මෙහෙයුම ආසන්න කාලයේ දී උන්වහන්සේ රිය අනතුරකට ලක් වුණු අතර එය පසුපස හිටපු කුප්‍රකට ආරක්ෂක ලේකම්වරයා ඇතැ යි ද කටකතා පැතිරිණි. අනෙක් අතට, එකී ආරක්ෂක ලේකම්වරයා විසින් උන්වහන්සේට තර්ජනාත්මකව පරුෂ වචනයෙන් බැණ වැදුණු බවක් ද එකල පැතිර ගිය ආරංචි අතර විය. මෙකියන පුද්ගලයන්ගේ පැටිකිරිය දෙස බලත් දී එවැන්නක් සිදු වීමට ඇති ඉඩ කඩ බොහෝ සෙයින් වැඩි ය.

යහපාලන රජය පිහිටුවා ටික කලෙකින් උන්වහන්සේ කීර්තිනාමශේෂභාවෝගත වූහ. යහපාලනය යැ යි කියාගන්නා රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උන්වහන්සේ කළකිරීමෙන් ඉන්නා බව කනින් කොනින් ආරංචි පළ වූ අතර, එකී බලවේගය නියෝජනය කළ බොහෝ දෙනා එදා සිටියේ ද අද ඉන්නේ ද කළකිරීමෙන් බව කවුරුත් දන්නා කරුණකි. කෙසේ වෙතත්, එකල මේ මරණය ගැන සැක බව කිසිවෙක් නොකී බව අපට මතක ය. එසේ සැකයක් තිබේ නම් උන්වහන්සේගේ භෞතික ශරීරය දවාලන්නට පෙර කිව යුතු බව ඕනෑ ම බබෙක් පවා දන්නා කාරණයකි.

දැන් පි.(පිනට) හෙළ උරුමයේ නායකයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලටත්, සාපරාධී වරදවලට චෝදනා ලද මහණුන් සිය සිරුර වසාගෙන සිටින ආර්ය ධජයේ වරප්‍රසාදයටත් මුවා ව සෝභිත හිමි ඝාතනය කළා යැ යි චෝදනා නගති.

වන්නාට ය. සෝභිත හිමියන් සමඟ බද්ධ වෛරය තිබුණේ කාට දැ යි රට ම දනිති. අනෙක් අතට, උන්වහන්සේ අපවත් වූ පසු තව රොටියක් පිච්චුණා වැනි අභද්‍ර වචනයෙන් සැනසුණෝ කවුරු ද කියාත් රට ම දනිති.

මේ කියන චෝදනා මහත් වැදගත්කමකින් යුතු ව සලකා පරික්ෂණ කිරීම අදාළ අංශවල වගකීම බවත්, රජය ඊට බරපතල ලෙස සහයෝගය දිය යුතු බවත් අපි විශ්වාස කරමු. එසේ ම එම චෝදනා කඩිනමින් පරික්ෂණ කර බලා එසේ නොවන්නේ නම්, ගම්මන්පිල සහ උඩුවේ ඇතුළු පිරිස ඒවා හිතලු ප්‍රකාශ ලෙස කර ඇත්නම් ජන කැළඹීමට සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවලට අදාළව ඔවුන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කළ යුතු බව උදක් ම සටහන් කර තබමු!

RSL

Related Posts