ගෝඨාගේ වියත්මඟට පොහොට්ටුවේ විරෝධය!

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් වියත් මග සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි පිරිසක් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයන් අතර විරෝධයක් මතුවී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තිකයෝ හා හිටපු හමුදා නිලධාරීහු පිරිසක් මෙලෙස ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙති. සෑම දිස්ත‍්‍රික්කයකින්ම අපේක්ෂකයන් දෙදෙනා බැගින් එලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ආචාර්ය නාලක ගොඩහේවා, මිලින්ද රාජපක්ෂ, අජිත් නිවාඞ් කබ්රාල් හා ආචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් ඒ අතර සිටිති. එම අපේක්ෂකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත්වීමෙන් දේශපාලනඥයන්ට පරිබාහිර විද්වතුන් පිරිසක් ලෙස හඳුන්වමින් ප‍්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

එලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ජනාධිපතිවරයාට හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ප‍්‍රකාශ කළේ තමන්ට රජයේ තනතුරු කිහිපයක්ම බාරගැනීමට ආරාධනා ලැබුණු නමුත් තමා එම තනතුරු ප‍්‍රතික්ෂේප කළේ ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් බවය. තමා දේශපාලන පක්ෂයක සාමාජිකත්වයක් බලාපොරොත්තු නොවන බවද, මැතිවරණ අපේක්ෂකත්වය පමණක් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගන්නවාදැයි විමසීමේදී ඔහු පැවසුවේ ඒ ගැන තවම තීන්දුවක් නැති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සන්ධානයේ ප‍්‍රබලයෙකු ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂ සාමාජිකත්වයක් නැතිව අපේක්ෂකත්වය ලබාදුන් නමුත් මහමැතිවරණයේදී පක්ෂ සාමාජිකත්වයක් නැති පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබාදීමට තම සන්ධානයේ දේශපාලන නායකයන් රැසකගේ කැමැත්තක් නැති බවය. සන්ධානයක නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී විධිමත් ක‍්‍රමවේදයක් තිබෙන බවත් විවිධ පක්ෂ සතු බලය අනුව නාමයෝජනා බෙදී යා යුතු බවත් ඔහු කීය.

කිසිදු පක්ෂයක සාමාජිකත්වය ගැනීමට කැමැත්තක් නොදක්වන්නේ නම් වියත් මග සංවිධානය නව සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් අපේක්ෂකත්වය ලබාගැනීම සුදුසු බව ඔහු ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔහු ප‍්‍රකාශ කළේ තමන් වැනි නායකයන්ගේ විරෝධය නොතකමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදිහත් වී පක්ෂවල සාමාජිකයන් නොවන පුද්ගලයන්ට නාමයෝජනා ලබාදෙනු ඇති බවයි.

RSL

Related Posts